අපරාධ වාර්තා

අටළුගම ‘ගොටුකළ රිෆායිගේ’ මත්ද්‍රව්‍ය ජාවාරම වැටලීමට ගිය පොලිස් නිලධාරීන්ට අමානුෂික ප්‍රහාරයක්

(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 09 පස්වරු 09.38ට)

කළුතර දිස්ත්‍රික්කයේ, බණ්ඩාරගම, අටළුගම, මාරව ප්‍රදේශයේ දී මහා පරිමාණ ගංජා ජාවාරමක් වැටලීමට ගිය පොලිස් නිලධාරීන් පිරිසක් ජාවාරම්කරුවන්ගේ පහරකෑමට ලක්ව තිබෙනවා.

එහිදී පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකු, සැරයන්වරියක් හා පොලිස් කොස්තාපල්වරියක් ද තුවාල ලබා ඇති අතර ඉතා අමානුෂික ආකාරයෙන් පොලිස් නිලධාරීන් වෙත පහර දෙන අයුරු එම අවස්ථාවේ දී ජංගම දුරකතන මාර්ගයෙන් ලබාගෙන ඇති වීඩියෝ දර්ශනවල දැක්වෙනවා.

පොලීසියට ලද තොරතුරක් අනුව “ගොටුකොළ රිෆායි“ නම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සොයා සැප්තැම්බර් 09 දින පෙරවරු 8.30ට පමණ අටළුගම, ඉජිතුමා මාවත ප්‍රදේශයේ නිවසක් සෝදිසි කිරීමට ගිය පොලිස් නිලධාරීන් වෙත මෙලෙස පහර දී ඇත්තේ කාන්තාවන් ඇතුළු පිරිසකි.

අදාළ නිවස සෝදිසි කිරීමට ගිය පොලිස් නිලධාරීන්ට බාධා කර ඇති කාන්තාවන් පසුව පිරිමි පුද්ගලයින්ගේ ද සහය ඇතිව පොලිස් නිලධාරීන් වෙත පහර දෙන අයුරුත් ඇතැම් පිරිමි පුද්ගලයින් මන්නා හෝ පිහි වැනි යමක් සහිතව පොලිස් නිලධාරීන්ට පහරදීමට පැමිණෙන අයුරුත් විඩියෝපටවල දැක්වෙනවා.

පොලිස් නිලධාරිනියන්ට අතින් පයින් පහරදෙන අදාළ ජාවාරම්කාර කාන්තාවන් සහ ඊට සහය දුන් පිරිස එක් පොලිස් කාන්තාවකගේ කෙස් වැටියෙන් ඇද ඉතා අමානුෂික ලෙස පහරදෙන අයුරු වීඩියෝගත වී තිබෙනවා.

සිදුවීම අතරතුර ජාවාරමට සැකපිට අත්අඩංගුවට ගත් පිරිමි පුද්ගලයෙකු රටේ නීතිය අනුව අත්අඩංගුවට ගැනීමට යාමේ දී ඊට නොමනා ලෙස බාධා කරන අයුරු ද වීඩියෝපටයේ දැක්වේ.

කෙසේ වෙතත් ජාවාරමට සම්බන්ධ බවට සැක කෙරෙන පිරිස ජීවත් වූ නිවස පොලිස් නිල සුනඛයන් ද යොදාගනිමින් පරීක්ෂාවට ලක් කිරීමට පොලීසිය සමත් වූ අතර එහිදී නිවස තුළ තිබී කේරල ගංජා ග්‍රෑම් 500ක් ද සොයා ගනු ලැබීය.

මේ අතර පොලිස් නිලධාරීන්ට අමානුෂික ලෙස පහරදීම සිදුකළ බවට සැකපිට කාන්තාවන් තිදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අතර 15 හැවිරිදි දැරියක් ද ඔවුන් අතර සිටින බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළා.

පොලිසියට පහරදුන් මෙම පිරිස අටළුගම 32 කල්ලිය යන අන්වර්ථ නාමයෙන් හදුන්වන බව පැවසෙන අතර සිද්ධිය සම්බන්දයෙන් තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලීසිය සඳහන් කළා.

දර්ශන අනුග්‍රහය – අද දෙරණ

Rivira FB Group Rivira Youtube
To Top