දේශීය පුවත්

විස්ස සහ ප්‍රේමලාල් ගැන දුර්මත වලට ජනපතිගෙන් පිළිතුරු

(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 10 පස්වරු 11.07ට)

විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර ගැන අධිකරණය දුන් තීන්දුව මුල්කොට ගෙන විපක්ෂය සහ එහි හිතවතුන් සමාජ ගත කරමින් තිබෙන අදහස්වලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (10) පිළිතුරු දී තිබෙනවා.

රාජ්‍ය අමාත්‍යවරුන් සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති රැස්වීමේ දී විපක්ෂ චෝදනා ගැන සඳහන් කළ ජනාධිපතිතුමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනයේ අරමුණ 19 වැනි සංශෝධනයෙන් පනවා ඇති බාධක ඉවත් කොට ඉදිරියට යාම බව පැවසීය.

‘සියල්ල එකවර වෙනස් කරන්න බැහැ. ඊට විශාල කාලයක් ගත වෙනවා. විවිධ අදහස් ඉදිරිපත් කර තිබෙනවා. 19 වැනි සංශෝධනයේ ඇතැම් ලක්ෂණ එසේම තබාගන්න අපට අවශ්‍යයි. මුලික අරමුණ ජනාධිපති ධූර කාලය නොවෙනස්ව පවත්වා ගනිමින් ඉදිරි වැඩ කරගෙන යාම’ ජනාධිපතිතුමා එහිදි පැහැදිලි කළේ ය.

ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා මුල්කොට ගෙන විපක්ෂය නඟන චෝදනා ගැන අවධානය යොමු කළ ජනාධිපති රාජපක්ෂ තමා හෝ අග්‍රාමාත්‍යතුමා හෝ අධිකරණ ක්‍රියාවලියට කිසිදු බලපෑමක් නොකළ බව අවධාරණය කළේ ය.

‘බලපෑම් කරනවානම් කළ යුතුව තිබුණේ මහාධිකරණයට. එවැන්නක් කිසිවිටෙකත් සිදු වූයේ නැහැ. අධිකරණ තීන්දුව දුන් විනිසුරුවරයා පත් කළේ ව්‍යවස්ථා සභාව. එහි සිටියේ කරු ජයසූරිය, සජිත් ප්‍රේමදාස, තලතා අතුකෝරාල, ඇතුළු පිරිසක්. විපක්ෂයට එක් තීන්දුවක් හොඳයි. අනෙක නරකයි’ ජනාධිපතිතුමා පැවසීය.

අභියාචනාධිකරණ විනිසුරුවරයා පත් කළේ ද එකී ව්‍යවස්ථා සභාවම බව පෙන්වා දුන් ජනාධිපතිතුමා විපක්ෂය අසත්‍ය ප්‍රචාරයක නිරතව සිටින බව ද පැවසීය.

Rivira FB Group Rivira Youtube
To Top