අධ්‍යාපනය

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ගත් තීරණය ගැන රුසියාවේ අවධානය

(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 11 පස්වරු 07.46ට)

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් වසර 5කට වරක් සිදුකරනු ලබන අධ්‍යයනයකින් පසු රුසියානු රාජ්‍ය විශ්වවිද්‍යාල 3ක් අනුමත ලැයිස්තුවෙන් ඉවත් කර තිබෙනවා.

2020 වසරේ ජුනි මස 26 දින රැස් වූ වෛද්‍ය සභාව මෙම තීරණය ගෙන තිබෙනවා. ඒ අනුව මේ වන විට රුසියාවේ විශ්වවිද්‍යාල අතරින් එම්.ඩි. උපාධිය සඳහා පමණක් එක් විශ්වවිද්‍යාලයක් අනුමත කිරීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව තීරණය කර තිබෙනවා.

මේ අතර වෛද්‍ය උපාධිය සඳහා අනුමත කොට තිබූ රුසියානු රාජ්‍ය විශ්වවිද්‍යාල තුනක්, කිසිඳු පූර්ව දැනුම්දීමකින් තොරව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුමත ලැයිස්තුවෙන් ඉවත්කිරීම පිළිබඳ ව රුසියානු මධ්‍යස්ථායේ අවධානයට ලක්ව තිබෙනවා.

සැප්තැම්බර් 11 දින නිවේදනයක් නිකුත් කරමින් කොළඹ පිහිටි රුසියානු මධ්‍යස්ථානය පවසන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් අනුමත කොට තිබූ මහජන මිත්‍රත්ව විශ්වවිද්‍යාලය (පැට්රිස් ලුලුම්බා විශ්වවිද්‍යාලය), පිරොගොව් රුසියානු ජාතික පර්යේෂණ වෛද්‍ය විශ්වවිද්‍යාලය සහ ටීවර් රාජ්‍ය වෛද්‍ය විශ්වවිද්‍යාලය මෙලෙස අනුමත ලැයිස්තුවෙන් ඉවත් කර ඇති බවයි.

එහෙත් එම විශ්වවිද්‍යාල ත්‍රිත්වයෙහි නිලධාරීන් පසුගිය වසර කිහිපය පුරා විටින් විට ශ්‍රී ලංකාවට පැමිණ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නිලධාරීන් හමුවූ බවත් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ගෙවිය යුතු සාමාජික මුදල් ගෙවීම් නිසි ආකාරයට සිදුකරමින් අදාළ සියලු අවශ්‍යතා ඉටුකොට ඇති බව කොළඹ පිහිටි රුසියානු මධ්‍යස්ථානය පවසනවා.

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය විසින් ස්ථාපිත කොට ඇති රුසියානු මධ්‍යස්ථානය පවසන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ගෙන ඇති තීරණය හේතුවෙන් ශ්‍රී ලංකික පුරවැසියන්ට පිරිනමනු ලබන රුසියානු රාජ්‍ය ශිෂ්‍යත්ව සඳහා බලපෑමක් ඇති නොවෙතැයි ඔවුන් බලාපොරොත්තු වන බවයි. එවැන්නක් සිදු වුවහොත්, ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට මුදල් ගෙවීමකින් තොරව ප්‍රධාන පෙළේ රුසියානු විශ්වවිද්‍යාල වල ඉගෙනීමට ඇති අවස්ථාවන් අහිමිවන බවද ඔවුන් පෙන්වා දෙයි.

මීට අමතරව එම විශ්වවිද්‍යාල ත්‍රිත්වයෙන් 2020 වසර සඳහා ශිෂ්‍යත්ව හිමිකරගෙන සිටින 40ක පමණ සිසුන් ප්‍රමාණයකට ලැබී ඇති ශිෂ්‍යත්ව නොලැබී යෑමේ අවදානමක් මතුව ඇති බව පීඩාවට පත් ශ්‍රී ලාංකික සිසුන් පෙන්වා දෙනවා. ශ්‍රී ලංකාවේ දී උසස් පෙළ විභාගයට පෙනී සිට ඉහළ ප්‍රතිඵල ලබාගත් සිසුන්ට මෙම ශිෂ්‍යත්ව හිමිවනවා.

කෙසේ වෙතත් රුසියානු උපාධි හිමි ශ්‍රී ලාකික වෛද්‍ය වෘත්තිකයින් පෙන්වා දෙන්නේ මෙලෙස නිසි පරිදි හේතු දැක්වීමකින් තොර ගෙන ඇති තීරණය හේතුවෙන් ශ්‍රී ලංකාව සහ රුසියාව අතර රාජ්‍ය තාන්ත්‍රික අර්බුධයක් දක්වා වර්ධනය විය හැකි සිදුවීමක් බවයි.

ඇතැම් පිරිස් පෙන්වා දෙන්නේ මෙම තීරණය නිවැරදි නොකළොත් හෝ පිළිගත හැකි හේතුවක් ඉදිරිපත් කිරීමක් නොකළොත් මේ හරහා ශ්‍රී ලංකාවේ ප්‍රධාන තේ ගැනුම්කරුවෙකු වන රුසියාව ඒ සම්බන්ධයෙන් නැවත සළකා බැලීමක් පවා සිදුකළ හැකි බවයි.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පවසන්නේ සියලු විශ්වවිද්‍යාල නිසි පරිදි අධ්‍යනය කරන බවයි. එසේම වසර 5කට වරක් එම විශ්වවිද්‍යාල සඳහා ලබා දී ඇති අනුමැතිය යළි සළකා බලන බව ද එම සභාව පවසනවා. ඒ අනුව මෙම තීරණය ගනු ලැබුවේ කරුණු හොඳින් අධ්‍යයනය කිරීමෙන් පසුව බව ද වෛද්‍ය සභාව සඳහන් කළා.

Rivira FB Group Rivira Youtube
To Top