,
News

කුවේටයේ දී ශ්‍රී ලාංකික සේවිකාවට වධ හිංසා පමුණුවා මරා දමලා

(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 13 පෙරවරු 10.57ට)

46 හැවිරිදි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවකට වධ හිංසා කිරීම සම්බන්ධයෙන් කුවේට් යුවළක් පිළිබඳ පරීක්ෂණ පවත්වමින් සිටින බව ගල්ෆ් නිවුස් වාර්තා කර තිබෙනවා.

ගල්ෆ් නිවුස් වාර්තාවට අනුව, ඇයව රෝහලට ගෙන ගිය සේවිකාවගේ අනුග්‍රාහකයාගෙන් (සේවය කළ නිවසේ හිමිකරු) සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වී ඇත්තේ අදාළ සේවිකාවට සිහි නැති වන තුරු නිවැසියාගේ බිරිඳ විසින් ඇයට පහර දී ඇති බවයි. ඔහුගේ බිරිඳගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී සේවිකාවට පහර දුන් බව පිළිගෙන ඇති නමුත් ඇයව මරා දැමීමට අදහස් නොකළ බව පවසා ඇතැයි ගල්ෆ් නිවුස් වාර්තා කරයි.

අදාළ සේවිකාවගේ සිරුරේ පිලිස්සුම් තුවාල, කැපුම් තුවාල හා වෙනත් තුවාල ද සහිතව එරට අමරි රෝහල වෙත ඇතුළත් කර ඇත්තේ කුවේටයේ ඇය සේවය කළ නිවසේ හිමිකරු විසිනි.

සේවිකාව අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල් ගත කළ අවස්ථාවේදී මෙම සිදුවීමට තවත් අය සම්බන්ධ දැයි සොයා බැලීමට කුවේට් නිවැසියා සහ ඔහුගේ බිරිඳගෙන් ප්‍රකාශ ලබාගෙන විමර්ශනයක් සිදුකර ඇත.

කෙසේ වෙතත් අදාළ සේවිකාව බරපතල තත්වයෙන් දැඩි සත්කාර ඒකකයට මාරු කළ නමුත් පැය කිහිපයකට පසු එනම් සැප්තැම්බර් 10 බ්‍රහස්පතින්දා පෙරවරුවේ ඇය මියගිය බව රෝහල ප්‍රකාශ කර තිබෙනවා. දේහය පිළිබඳ අධිකරණ වෛද්‍ය වාර්තාව ලබා ගැනීම සඳහා අධිකරණ වෛද්‍ය දෙපාර්තමේන්තුවට යොමු කර ඇති අතර එමගින් ඇය මියගිය හේතුව සොයා ගැනීමට නියමිත බව ද ගල්ෆ් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කර තිබෙනවා.

කුවේටයේ දී නිවැසියා විසින් සේවිකාවක් ඝාතනය කළ පළමු අවස්ථාව මෙය නොවන අතර පසුගිය වසරේ මුල දී පිලිපීන ජාතික සේවිකාවක් ද ඇය සේවය කළ සේවායෝජකයින් විසින් අපයෝජනය කිරීමෙන් පසු ඝාතනය කර තිබෙනවා.

Rivira Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top