අධ්‍යාපනය

“රුසියානු විශ්වවිද්‍යාල 3 ඉවත්ව ඇත්තේ වෙබ් අඩවියෙන් පමණයි, ඒක අත්වැරදීමක්” වෛද්‍ය සභාවේ සභාපති

(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 13 පස්වරු 09.21ට)

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් වසර 5කට වරක් සිදුකරනු ලබන අධ්‍යයනයකින් පසු රුසියානු රාජ්‍ය විශ්වවිද්‍යාල 3ක් අනුමත ලැයිස්තුවෙන් ඉවත් කිරීමට එම සභාව තීරණය කිරීමත් සමග ඒ සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක තත්වයක් ඇති විණි.

2020 වසරේ ජුනි මස 26 දින රැස් වූ වෛද්‍ය සභාව මෙම තීරණය ගෙන තිබූ අතර එමගින් පැට්‍රිස් ලුමුම්බා ඇතුළු රුසියාවේ ලොව පිළිගත් විශ්වවිද්‍යාල 3ක් මෙරට වෛද්‍ය සභාවේ අනුමත ලැයිස්තුවෙන් ඉවත් කර තිබුණා.

කෙසේ වෙතත් මේ වන විට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පවසන්නේ එය අත්වැරදීමකින් සිදුවූවක් බවයි.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය හරේන්ද්‍ර සිල්වා නිවුස්ෆස්ට් වෙත ප්‍රකාශයක් ලබා දෙමින් පවසා ඇත්තේ එය වෙබ් අඩවියේ අනුමත ලැයිස්තුවෙන් පමණක් අත්වැරදීමක් ඉවත් ව ඇති බැවින් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීමට ද අපේක්ෂා කරන බවයි.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා නිවුස්ෆස්ට් වෙත සිදුකළ ප්‍රකාශය මෙසේ ය.

“කමිටියෙන් තමයි ඒක බලන්නේ. ඒක මේ පාර බලනකොට රිපෝර්ට් වුණා විශ්වවිද්‍යාල තුනක නෙවෙයි හතක. එතැනදී ඒ රිපෝර්ට් අපි බැලුවේ නෑ අර රටෙන්ද? මේ රටෙන්ද? වෙන වෙන ප්‍රශ්න ඇති වෙයිද නැද්ද කියලා බැලුවේ නෑ. අර රිපෝර්ට් එක අනුවයි තීරණයක් ගත්තේ. ඊට පස්සේ ඒක එහෙම නිකම් අයින් කරන්නත් බෑ. කමිටියෙන් තීරණය කරන්න ඕනේ. කමිටියෙන් තීරණය කරලා ඒක නැවත සම්මත වෙන්න ඕනේ ඊට පස්සේ මීටිමෙන්.”

“ඊට පස්සේ කවුන්සිල් මීටින් එකට දාලා ඒකත් සම්මත වෙන්න ඕනේ. දැන් ඊට පස්සේ ඇත්තටම විය යුතු දේ තමයි ඇමතිතුමියට ඒක යවන්න ඕනේ. අන්තිම තීරණය ඇමතිතුමියගේ තමයි තියෙන්නේ. දැන් මෙතෙන වුණේ අපි වැඩ කරන ඒ කියන්නේ කවුන්සිල් එකේ එක්කෙනෙක් නෙවෙයි. යම් කෙනෙක් එයාට වැරදීමකින් එයා හිතලා තියෙනවා දැන් මේක අයින් කෙරුවා හරි කියලා වෙබ් සයිට් එකෙන් නම් ටික අයින් කෙරුවා. එතකොට ඒ අයින් කරලා මේවා කරලා තියෙනවා. දැන් ඕක අපිට දැන ගත්ත නිසා දැන් නැවත වරක් නැවත වරක් මීටිමක් රැස් වෙන්න ඕනේ. රැස් වෙලා අපිට තීරණය කරන්න ඕනේ නම් ටික නැවත වරක් දාලා ඒ කරපු අසෙස්මන්ට් එක නැවත වරක් ආයෙමත් බලන්න කියලා, සලකා බලන්ඩ කියලා මේක සුදුසුද නැද්ද කියලා. වැරදීමක් වෙලා තියෙන්නේ වෙබ් සයිට් එකෙන් නම අයින් කරපු එක.”

ඇති වූ දැඩි විරෝධය සහ රුසියාව සමග ඇති වීමට රාජ්‍ය තාන්ත්‍රික අර්බුධය හමුවේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයා එසේ පැවසුව ද, සිසුවියකගේ ලිපියකට පිළිතුරු යවමින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරී වෛද්‍ය ආනන්ද හපුගොඩගේ අත්සනින් නිකුත් කළ ලිපියක දැක්වෙන්නේ ජුනි 26 දින පැවති කමිටු රැස්වීමේ දී අදාළ විශ්වවිද්‍යාල 3ට ලැබී තිබූ අනුමැතිය අවසන් වූ බවයි.

එම ලිපිය මෙතැනින්

Rivira FB Group Rivira Youtube
To Top