කොවිඩ්-19

දිනක් තුළ ලොව වැඩිම කොරෝනා ආසාදිතයින් ගණන ඊයේ දිනයේ දී වාර්තා වෙයි

(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 14 පෙරවරු 10.23ට)

ලොව එක් දිනක් තුළ වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිත සංඛ්‍යාව සැප්තැම්බර් 13 වන දින වාර්තා වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

ඒ අනුව, ගත වූ දිනයේ දී නව ආසාදිතයින් 307,930 දෙනෙකු එම කාලය තුළ හඳුනාගෙන ඇති බව එම සංවිධානය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. මීට පෙර, සැප්තැම්බර් 6 වන දින ආසාදිතයන් 306,857 දෙනෙකු වාර්තාවී ඇති අතර, ඉන්පසුව වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව මෙයයි. කෙසේ වෙතත්, ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ ඇමරිකාවේ නව ආසාදිතයන් වාර්තා වීම සියයට 44 කින් අඩුවී ඇති බවයි.

නමුත්, මේ වන විට දෛනිකව වැඩිම කොරෝනා ආසාදිතයින් හා මරණ ගණන වාර්තා වන්නේ ඉන්දියාවෙන්. ගත වූ පැය 24 තුළ දී, ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයින් 94,409 දෙනෙකු වාර්තා වී තිබෙනවා. එම කාල සීමාව තුළ එරටින් වාර්තා වී ඇති කොරෝනා මරණ ගණන 1,108 ක්. ඒ අනුව ඉන්දියාවෙන් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 4,754,356 ක් වේ. ඉන්දියාවෙන් වාර්තා වී ඇති සමස්ත කොරෝනා මරණ ගණන 78,614 ක් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගත වූ පැය 24 තුළ දී ඇමරිකා එක්සත් ජනපදයෙන් ආසාදිතයින් 31,857 දෙනෙකු වාර්තා වී ඇති අතර පුද්ගලයින් 392ක් ජීවිතක්ෂයට පත් වී ඇත. දැනට ඇමරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 6,708,458ක් වේ. එරට පුද්ගලයින් 198,520 දෙනෙකු වෛරසය හේතුවෙන් මිය ගොස් තිබේ.

එමෙන්ම, බ්‍රසීලයේ ද මේ වන විට වාර්තා වන ආසාදිතයින් ප්‍රමාණයේ අඩු වීමක් දක්නට ලැබෙනවා. ගත වූ පැය 24 තුළ දී බ්‍රසීලයෙන් නව ආසාදිතයින් 14,597 දෙනෙකු වාර්තා වී ඇති අතර පුද්ගලයින් 389 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇත. බ්‍රසීලයේ වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 4,330,455ක් වේ. බ්‍රසීලයේ කොරෝනා වෛරසය හේතුවෙන් පුද්ගලයින් 131,663ක් ජීවිතක්ෂයට පත් වී ඇත.

මේ වන විට ලොව පුරා වාර්තා වූ කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය 29,175,454 ඉක්මවා යමින් තිබෙන අතර පුද්ගලයින් 927,986 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

කොරෝනා ව්‍යාප්තියත් සමඟ පැනවූ ජාත්‍යන්තර ගුවන් ගමන් සීමාවන් සැප්තැම්බර් 15 වනදා සිට ලිහිල් කිරීමට සෞදි අරාබිය තීරණය කර තිබෙනවා. එමෙන්ම ඊශ්‍රායලය නව ආසාදිතයන් වාර්තාවීම වැඩිවීමත් සමඟ එරට තුළ පනවා ඇති කොරෝනා සීමාවන් තවත් සති තුනකින් දීර්ඝ කිරීමට පියවර ගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මේ අතර, මලයාසියාවේ ක්වාලාලාම්පූර් අගනුවර රාත්‍රී සමාජ ශාලාවක කොරෝනා සීමාවන් උල්ලංඝනය කළ 290 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ මුඛ ආවරණ නොපැළදීම, සහ සමූහ වශයෙන් රැස්වීම ඇතුළු චෝදනා මත ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top