Covid-19

ශ්‍රී ලංකාවේ 13 වැනි කොරෝනා මරණය වාර්තා වෙයි

(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 14 පස්වරු 03.45ට – යාවත්කාලීන කිරීම පස්වරු 04.21ට)

හලාවත රෝහලේ දී සැප්තැම්බර් 14 පෙරවරුවේ මියගිය පුද්ගලයා කොරෝනා රෝගියෙකු යැයි තහවුරු වී තිබෙන බව වසංගත රෝග විශේෂඥ සුදත් සමරවීර තහවුරු කර තිබෙනවා.

නිවේදන අංක 251 යටතේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඒ බව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළා.

මීට පෙර වාර්තා වූයේ අදාළ පුද්ගලයා ආසාදිතයෙකු නොවන බවයි. එහෙත් මේ වන විට එම පුද්ගලයා කොරෝනා ආසාදිතයෙකු බව නිල වශයෙන් තහවුරු කර තිබෙනවා.

නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයෙක් හලාවත මහ රෝහලේ දී ජීවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වේ. හලාවත පිහිටි නිරෝධායනය මධ්‍යස්ථානයක නිරෝධායනය වෙමින් සිටිය දී ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු හලාවත මහ රෝහලට සැප්තැම්බර් 13 වන දින රාත්‍රියේ ඇතුළත් කොට තිබෙන අතර සැප්තැම්බර් 14 වන දින අලුයම මිය ගොස් තිබෙනවා.

මියගොස් ඇති පුද්ගලයා 60 හැවිරිදි පිරිමි පුද්ගලයා නාවිකයෙකු වන අතර අතර බහරේන් සිට පැමිණි අයෙකි. මිය යාමට ආසන්නතම හේතුව ලෙස සැළකෙන්නේ හෘදබාධයක් බව ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර, මන්නාරම දුම්රිය ස්ථානය දින 14 ක කාලයක් සඳහා වසා දැමීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ, පසුගියදා පම්පමඩුව නිරෝධායන මධ්‍යස්ථානයෙන් පැන ගිය පුද්ගලයා මන්නාරම දුම්රිය ස්ථානය අසල රැඳී සිටිය දී සොයා ගැනීම හේතුවෙන් ය. ඒ අනුව, ඉදිරි දින කිහිපය මන්නාරම දුම්රිය ස්ථානයේ දුම්රිය නතර නොකර ධාවනය කෙරෙන බව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණී සෙනෙවිරත්න සඳහන් කරයි.

මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 3234ක් වන අතර 3005 දෙනෙකු සුවය ලබා තිබෙනවා. තවත් 217 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ගනිමින් සිටියි.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top