,
News

දේශීය දියර කිරි අවශ්‍යතාවය සපුරන්න ජනපතිගෙන් සැලැස්මක් !

(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 14 පස්වරු 10.22ට)

දේශීය දියර කිරි අවශ්‍යතාවය සපුරාලීමට රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයෙන් සහ කුඩා පරිමාණ ගොවීන්ගේ එකතුවෙන් කෙටි සහ දිගුකාලීන සැලැස්මක් දියත් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී තිබෙන්නේ, පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන හා කිරි බිත්තර ආශ්‍රිත කර්මාන්ත පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව සැප්තැම්බර් 14 වන සඳුදා දහවල් ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාවේ දී ය.

එමෙන්ම, තෘණ වගාව, කිරි ගවයන් බෝ කිරීම සහ පර්යේෂණ ආයතන සේවා වැඩිදියුණු කොට කඩිනමින් ඉලක්ක සාර්ථක කර ගැනීමේ අවශ්‍යතාවය ජනාධිපතිතුමා එහිදී පෙන්වා දී තිබෙනවා.

මෙරට වාර්ශික කිරි අවශ්‍යතාවයෙන් දේශීයව නිෂ්පාදනය කරනු ලබන්නේ 40%කට අඩු ප්‍රමාණයකි. පෝෂ්‍යදායි නැවුම් කිරි පානය සඳහා ඇති අවස්ථාව මේ නිසා ජනතාවට අහිමි වී තිබේ. ඉදිරි දශකය තුළ දියර කිරි නිෂ්පාදනයට පියවර ගන්නා බව ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ජනාධිපතිතුමා ප්‍රතිඥා දී ඇත.

රටේ විවිධ ප්‍රාදේශවලට ගැළපෙන කිරි ගව ප්‍රභේද හඳුන්වා දීමට අවශ්‍ය පර්යේෂණ පුළුල් කිරීමට රජය අපේක්ෂා කරයි. කිරි නිෂ්පාදනය නැංවීම සඳහා ඉහළ ගුණාත්මක අගයෙන් යුත් තෘණ වර්ග වගා කිරීම සහ ගව ආහාර නිෂ්පාදනය පිළිබඳව දීර්ඝව සාකච්ඡාවට ලක් කර ඇත.

සමස්ත දියර කිරි නිෂ්පාදනයෙන් 85%ක් කුඩා පරිමාණ කිරි ගොවීන් විසින් සපයනු ලැබේ. ඔවුන් ශක්තිමත් කර ප්‍රතිශතය වැඩි කිරීමට පියවර ගත යුතු යැයි ආර්ථික පුනර්ජිවනය පිළිබඳ ජනාධිපති කාර්යා සාධක බලකායේ ප්‍රධානි බැසිල් රාජපක්ෂ එහිදී පවසා තිබෙනවා. කිරි ලීටරයක නිෂ්පාදන පිරිවැය ඉහළ යාමෙන් ගොවීන් අධෛර්යමත් වී සිටියි. තෘණ ඇතුළු ගව ආහාර සහන ක්‍රමයකට කිරි ගොවීන්ට සැපයීමේ ද අවශ්‍යතාව බැසිල් රාජපක්ෂ එහිදී පෙන්වා දී තිබෙනවා. රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශයට අවශ්‍ය සත්ව ආහාර නිෂ්පාදනය සඳහා ගොවීන් දිරිමත් කිරීම ආයතනික මට්ටමින් කළ යුතු බව ද එහිදී පෙන්වා දී තිබෙනවා.

එමෙන්ම, සත්ව ගොවිපොළ ආශ්‍රිත පරිසර ගැටළු විසඳීමට මධ්‍යම පරිසර අධිකාරිය මැදිහත් වීමේ වැදගත්කම පෙන්වා දු ජනාධිපතිතුමා එය ගොවියාට බරක් නොකළ යුතු බව ද එම සාකච්ඡාවේ දී අවධාරණය කර තිබෙනවා.

පාරම්පරිකව පවත්වාගෙන යන සත්ව ගොවිපොළ ජනතා පැමිණිලි පදනම් කර ගනිමින් විමර්ශනයකින් තොරව වසා දැමීම නොකළ යුතු බව ද බැසිල් රාජපක්ෂ එහිදී පවසා ඇත.

තවද, එහිදී කිරි නිෂ්පාදන වර්ධනය අරමුණු කොට ගෙන වතු සමාගම් 15 ක් දායක කර ගනිමින් කිරි ගවයන් 15,000ක් ඇති කිරීමට පියවර ගෙන ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ එහිදි සඳහන් කර තිබෙනවා.

එම අවස්ථාවේ දී, කුකුළු මස් සහ බිත්තර නිෂ්පාදනය පුළුල් කිරිම හා මහා පරිමාණ නිෂ්පාදකයින් අපනයන වෙළපොළට යොමු කිරිම පිළිබඳව ද සාකච්ඡා කර තිබෙනවා. බිත්තර කුකුළු මස් ආශ්‍රිත නිධ්පාද අපනයනයෙන් 2020 වසරේ දී ඇමරිකානු ඩොලර් මිලියන 16ක විදේශ විනිමයක් ඉපැයීමට අපේක්ෂා කරන බව පෞද්ගලික අංශයේ ආයෝජකයෝ එහිදි පවසා ඇත.

මෙම සාකච්ඡාවට අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත්, ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, කැබිනට් හා කැබිනට් නොවන අමාත්‍යාංශවල ලේකම්වරු, රේඛීය ආයතනවල ප්‍රධානීන් සහ පෞද්ගලික ව්‍යවසායකයින් එක්ව සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

Rivira Ads
To Top