දේශීය පුවත්

මින් ඉදිරියට ඊශ්‍රායලයට රැකියා සඳහා ශ්‍රමිකයින් යැවෙන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා පමණයි

(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 15 පස්වරු 01.00ට)

ඊශ්‍රායල රජය සහ ශ්‍රී ලංකා රජය ඇති කර ගත් රාජතාන්ත්‍රික ගිවිසුමට අනුව මින් ඉදිරියට ඊශ්‍රායලයට ශ්‍රමිකයින් යැවිම සිදු කරන්නේ රජයෙන් පමණක් බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සඳහන් කරයි.

ඊශ්‍රායලයේ ගෘහස්ත සාත්තු සේවා සහ කෘෂිකර්ම අංශයේ රැකියා සඳහා ශ්‍රී ලංකාවෙන් පසුගිය කාලයේ පෞද්ගලික අංශය මගින් යවනු ලැබු ලාංකීකයන් ගෙන් මෙරට රැකියා ඒජන්සිකරුවන් විශාල මුදලක් අය කිරිම පිළිබඳ ලද තොරතුරු මත ඊශ්‍රායල් රජය මෙරට රැකියා ඒජන්සිකරුවන් මගින් එරටට ශ්‍රමිකයින් ගෙන් වීම අත්හිටුවා, ලාංකීක ශ්‍රමිකයින් විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟින් පමණක් ගෙන්වා ගැනීමට තීරණය කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කරයි.

අමාත්‍යවරයා මේ බව හෙළි කළේ, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් හා රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න ගේ සහභාගීත්වයෙන් අමාත්‍යාංශයේ දී පැවති විශේෂ සාකච්ඡාවක දී ය.

එහිදි තවදුරටත් මේ පිළිබඳව තොරතුරු අනාවරණය කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මෙම ගිවිසුම නිසා මින් ඉදිරියට කිසිදු පෞද්ගලික ආයතනයකට ඊශ්‍රායලයට ලාංකීක ශ්‍රමිකයින් යැවිමට අවස්ථාවක් නොමැති බවයි. එම නිසා ඊශ්‍රායලයට ලාංකික ශ්‍රමිකයින් යැවිම පිළිබඳ වන ප්‍රචාරයන්ට නොරැවටෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මෙහිදි ප්‍රකාශ කළා.

එසේම, විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනතට අනුව වෙනත් රටවල් වල විවිධ වෘත්තීන් සඳහා ලාංකිකයන් යැවීමේ කාර්ය භාරය ද විදේශ සේවා නියුක්ති කාර්යාංශ මඟින් පමණක් කිරිමට හැකි බව මෙහිදි අවධාරණය කෙරිණි.

Rivira FB Group Rivira Youtube
To Top