දේශීය පුවත්

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු දිලීප් නවාස් නඩුවකින් ඉවත් වෙයි

(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 16 පෙරවරු 11.28ට)

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු තිදෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුවක් විභාග කිරීමෙන් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ. එච්. එම්. ඩී. නවාස් ඉවත් වන බව සැප්තැම්බර් 16 වන බදාදා දින අධිකරණයට දැනුම් දී තිබේ.

එහිදී, තමන් පෞද්ගලික හේතුවක් මත මෙම නඩු විභාගයෙන් ඉවත් වන බව සභාපති විනිසුරු නවාස් විවෘත අධිකරණය ප්‍රකාශ කළේ ය. ඒ අනුව, අදාළ පැමිණිල්ල විභාග කිරීම සඳහා මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල නම් කරන බවත් අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා එහිදී ප්‍රකාශ කළේය.

ඒ අනුව, එම නව විනිසුරු මඩුල්ල ඉදිරියේ පැමිණිල්ල නැවත ඔක්තෝම්බර් මස 20 වනදා කැඳවීමට ද දින නියම කළේ ය.

එමෙන්ම, පැමිණිලිකාර පාර්ශ්වය ඔවුන් මුදා හැරීමට විරෝධයක් නොදැක්වීම හේතුවෙන්, දෙවන සහ තුන්වන වග උත්තරකරුවන් ලෙසට නම් කර ඇති මුලතිව් ප්‍රදේශය භාර පොලිස් නිලධාරීන් දෙදෙනකු මෙම නඩු කටයුතු වලින් මුදා හැරීමට අභියාචනාධිකරණය නියෝග කළේ ය.

මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණය මගින් නිකුත් කළ නියෝගයක් උල්ලංඝනය කරමින් ගුරුකන්ද රජමහා විහාරයේ විහාරාධිපති හිමියන්ගේ ආදාහන උත්සවය එම විහාර භූමියේ පැවැත්වීම සම්බන්ධයෙන් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු තිදෙනෙකුට එරෙහිව දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී ශාන්තිනී ස්කන්ධරාජා විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.

Rivira FB Group Rivira Youtube
To Top