,
Foreign

ජපානයේ නව අගමැති ලෙස 72 හැවිරිදි යොෂිහිඩේ සුගා පත් වෙයි

Photo Credit - Reuters

(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 16 පස්වරු .02.38)

ජපානයේ නව අගමැතිවරයා ලෙස 72 හැවිරිදි වියේ පසුවන යොෂිහිඩේ සුගා තේරී පත් වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මීට දින කිහිපයකට පෙර ජපානයේ පාලක පක්ෂයේ නායකයා ලෙස සුගා තෝරා පත් කර ගැනුණ අතර සැප්තැම්බර් 16 වන බදාදා දින පැවති ඡන්දයෙන් අනතුරුව ඔහු අගමැති ධූරයට පත් වීම තහවුරු විය.

ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේගේ සමීපතමයෙකු ලෙස සැලකෙන යොෂිහිඩේ සුගා, හිටපු අගමැතිවරයාගේ ප්‍රතිපත්තීන් අනුවම පාලන කටයුතු සිදු කිරීමට අපේක්ෂා වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අසනීප තත්ත්වයේ පසුවීම හේතුවෙන් ෂින්සෝ අබේ පසුගිය මාසයේ දී ඉල්ලා අස් විය. වසර 8ක පැවති පාලන කාලය තුළ තමන්ගේ මෙහෙවර පිළිබඳව සෑහිමකට පත් වන බව පසුගිය සතියේ දී ෂින්සෝ අබේ තම අවසන් කැබිනට් රැස්වීමට සහභාගී වෙමින් සඳහන් කර ඇත.

දීර්ඝ කාලීන දේශපාලන අත්දැකීම් ඇති පුද්ගලයෙක් වූ යොෂිහිඩේ සුගා පරිනත දේශපාලඥයෙකි. එමෙන්ම, දීර්ඝ කාලයක් කැබිනට් මණ්ඩලයේ සාමාජිකයෙකි.

ඈත පිටිසර අකිටා කලාපයේ හැදුනු වැඩුණු සුගා, ගොවියෙකුගේ පුතෙක් වන අතර පාසල් අධ්‍යාපනය නිමවා ඔහු රැකියාවක් සොයා ජපාන අගනගරය වන ටෝකියෝ වට පැමිණ තිබෙනවා. පසුව ඔහු විවිධාකාර රැකියා කරමින් දිවි ගෙවමින් සිට ඇති අතර වරක් ඔහු කාඩ් බෝඩ් වැඩපොළක රැකියාවක් කර තිබේ. අධ්‍යාපනයේ වටිනාකම හඳුනාගත් ඔහු, ටෝකියෝ නගරයට පැමිණීමෙන් පසු මුදල් ගෙවා ඉගෙනගත හැකි පෞද්ගලික විශ්වවිද්‍යාලයක ට ඇතුළු වී තිබෙනවා.

එමෙන්ම, ප්‍රකට සුකිජී මාළු වෙළෙඳපොළේ ද රැකියාවක් කර ඇති අතර ඔහු ඒ ඔස්සේ සිය විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතු සඳහා මුදල් ඉතිරි කරගත් බව ද වරෙක පවසා ඇත. ඉන්පසු උපාධිය හිමිකරගත්, යොෂිහිඩේ සුගා ස්ථීර රැකියාවක් සොයාගත්ත ද එහි වැඩිකලක් එම රැකියාවේ රැඳී සිටීමට අපොහොසත් වී ඇත.
ඉන්පසුව, ඔහුගේ තේරීම වූයේ දේශපාලනයයි.

ප්‍රථමයෙන් යොකෝහාමා නගර සභාවට තරඟ කළ නමුත් කිසිවෙක් එවකට කිසිවෙක් ඔහු පිළිබඳ දැන සිටියේ නැත. ඔහු සතු දේශපාලන අත්දැකීම් ද ඒ සඳහා නොසෑහිණි. නමුත් දිනයක දී නිවාස 300 බැගින් නිවාස 30,000ක් වෙත පයින්ම ගොස් තමා ගැන නගරවාසීන්ට තොරතුරු කීමට ඔහුට හැකිවිණි. ඒ හේතුවෙන් ඔහු ගේ සපත්තු කූට්ටම් 6ක් ගෙවී ගිය බව පක්ෂ වාර්තා පෙන්වා දෙයි.

ලොව තෙවැනි විශාලතම ආර්ථිකයට හිමිකම් කියන ජපානය හමුවේ විශාල අභියෝග රැසක් තවමත් ඉතිරිව තිබේ. අනෙක් රටවල් මෙන්ම ජපානය ද මේ වන විට කොරෝනා වසංගතය හමුවේ පීඩාවට පත්වෙමින් සිටියි. එමෙන්ම, ලොව සීඝ්‍රයෙන් වියපත් වෙමින් පවතින ජනගහනයක් සිටින ජපානයේ මේ වන විට ජනගහනයෙන් තුනෙන් එකකට වඩා වැඩි පිරිසක් වයස අවුරුදු 65ට වැඩි පුද්ගලයින්ය.

Rivira Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top