,
Environment

හම්බන්තොට අලි කළමණාකරණ රක්ෂිතයේ ඉඩම් මහා පරිමාණ ව්‍යාපාරිකයින් අතට පත් කිරීමේ සූදානමක් ගැන චාමිකර කියයි

(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 16 පස්වරු 07.57ට)

රජයේ ඉඩම් ප‍්‍රතිපත්ති භාවිතා කර හම්බන්තොට යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයේ වනාන්තර ඉඩම් කොල්ලය දරුණු තත්ත්වයකට පත්ව ඇති බව දීර්ඝ වාර්තාවක් ඉදිරිපත් කරමින් පරිසරවේදී සජීව චාමිකර පවසනවා.

සිංහරාජ ලංකාගම මාර්ග පිළිබඳ තොරතුරු අනාවරණය කිරීමත් සමග ආන්දෝලනාත්මක චරිතයක් වූ සජීව චාමිකර පවසන්නේ හම්බන්තොට සිදුකර ඇති සංවර්ධනය හේතුවෙන් දැවැන්ත පරිසර ගැටළු නිර්මාණය වී ඇති බවයි.

යෝෂිත රාජපක්ෂගේ හෝටලයක් ඇති බවට සජීව කළ බව කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂ විසින් සජීව චාමිකරගෙන් වන්දි ඉල්ලා එන්තරවාසියක් යොමුකර තිබෙනවා.

මේ අතර නව වාර්තාව මගින් ඔහු පවසන්නේ යෝජිත අලි කළමණාකාරණ රක්ෂිතයේ ඉඩම් කොල්ලකෑමක් සිදුවෙමින් පවතින බවයි. එසේම අධිවේගී මාර්ග, ගුවන්තොටුපළ, ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව ආදී ඉදි කිරීම් සිදුකිරීමේ දී පරිසර සම්බන්ධයෙන් අවධානය යොමු කොට නැති බවට ද ඔහු චෝදනා කර තිබෙනවා.

එම සම්පූර්ණ වාර්තාව පහළින්.

“පසුගිය 2019 වර්ෂය, මෙතෙක් ඉතිහාසයේ අලි – මිනිස් ගැටුමේ වර්ධනීයම තත්ත්වයක් වාර්තා වූ වර්ෂය බවට පත් වී ඇත. එම වසරේ දී හානිකර මිනිස් කි‍්‍රයාකාරකම් හේතුවෙන් අලි මරණ 405 ක් හා අලින්ගේ පහරදීම නිසා මිනිසුන් 121 ක් පමණ මියගොස් ඇති බවට වාර්තා වී තිබේ.

මේ තත්ත්වය ඇති වීමට ප‍්‍රධාන හේතූන් වී ඇත්තේ අලි – ඇතුන්ගේ වාසස්ථාන සීඝ්‍රයෙන් විනාශ කිරීම සහ එම වාසස්ථාන කොටස් වලට බෙදී වෙන් වන පරිදි හානිකර සංවර්ධන ව්‍යාපෘති කි‍්‍රයාත්මක කිරීම, රක්ෂිත වනාන්තර තුළ හානිකර මිනිස් කි‍්‍රයාකාරකම් සිදු කිරීම හා රක්ෂිත වනාන්තර තුළ ආක‍්‍රමණික ශාක පැතිරීම වැනි හේතු නිසා රක්ෂිත තුළ ගුණාත්මක තත්ත්වය පිරිහී යාම, දැනට පවතින අලි – මිනිස් ගැටුම තවදුරටත් වර්ධනය කිරීමට සමහර රාජ්‍ය ආයතනවල වැරදි තීන්දු තීරණ ප‍්‍රධාන වශයෙන් ඉවහල්වෙමින් පවතී. ඒ අතුරින් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව හා මහවැලි අධිකාරිය විසින් ගන්නා ලද හානිකර තීරණයක් ප‍්‍රමුඛ වේ. හම්බන්තොට ප‍්‍රදේශයේ ප‍්‍රබල අමාත්‍යවරුන්ගේ උපදෙස් මත මහවැලි අධිකාරියේ නිලධාරීන් විසින් හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතයට අයත් ඉඩම් විවිධ සංවර්ධන ව්‍යාපෘති හා මහ පරිමාණ ඒක භෝග වාණිජ වගාවන් සදහා ලබා දීමට කටයුතු කරමින් පවතීඃ39ත මේ අනුව අද වන විට ශීඝ්‍රයෙන් යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයේ ඉඩම් මහ පරිමාණයෙන් සමාගම් වලට හා මහ පරිමාණ ව්‍යාපාරිකයන්ට ලබා දී ඇති අතර එම ඉඩම් මහ පරිමාණයෙන් එළි පෙහෙළි කිරීම මේ වන විට සිදු කෙරේ.

රජයේ ඉඩම් ප‍්‍රතිපත්ති භාවිතා කර රක්ෂිත ඉඩම් කොල්ලකෑම

කැබිනට් මණ්ඩලය විසින් 2020 ජූලි මස 01 වන දින තීරණය කර ඇත්තේ වන සම්පත් හා පරිසර අමාත්‍යංශයේ ලේකම් විසින් 2001 අගෝස්තු 10 වන දින අංක 05/2001 දරණ චක‍්‍රලේඛය මඟින් රජයේ අවශේෂ කැලෑ ලෙස හදුන්වන වනාන්තර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පාලනයට යටත් කර චක‍්‍රලේඛය සංශෝධනය කර දිස්ති‍්‍රක් ලේකම් හා ප‍්‍රාදේශීය ලේකම් යටතට පවරා හේන් ගොවිතැන් සදහා ලබා දීමට ය. ඒ අනුව නව චක‍්‍රලේඛයක් සකස් කර අංක 05/2001 දරණ චක‍්‍රලේඛය සංශෝධනය කර නොතිබුණ ද බොහෝ ඇමතිවරුන්ගේ බලපෑම් මත වනාන්තර ඉඩම් මේ වන විට මහ පරිමාණයෙන් එකඑති කිරීම හා අත්පත් කර ගැනීම සිදු කරනු ලැබේ. යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයට අයත් වනාන්තර ඉඩම් මේ තත්ත්වයට දරුණු ලෙස ගොදුරු වී ඇත.

මීට අමතර ව ඉඩම් කොමසාරිස් ජෙනරාල් දෙපාර්තමේන්තුවෙන් ප‍්‍රකාශිත 2020 සැප්තැම්බර් 10 වන දින අංක 2192/36 දරණ ගැසට් නිවේදනයට අනුව ආයෝජන අවස්ථා පුළුල් කිරීම, දේශීය කිරි නිෂ්පාදනය ප‍්‍රවර්ධනය කිරීම, දේශීය ආහාර බෝග නිෂ්පාදනය සදහා රජයේ ඉඩම් ප‍්‍රශස්ත ලෙස කළමනාකරණය කිරීම ප‍්‍රමුඛ පරමාර්ථය ලෙස ගෙන රජයේ ඉඩම් අවිධිමත් ව භුක්ති විදින පුද්ගලයන් ක‍්‍රමවත් ව හදුනාගෙන සුදුසුකම් පරීක්ෂා කර බලා නීත්‍යනුකූල ලේඛණ ලබා දීමට රජය සූදානම් වේ. ඒ අනුව මේ වන විට අයදුම්පත් කැදවනු ලැබේ. මේ අවස්ථාව පදනම් කර ගෙන යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයේ ඉඩම් නීති විරෝධීව භුක්ති විදින මහ පරිමාණ ව්‍යාපාරිකයන් කණ්ඩායමක් ඉඩම්වලට නීත්‍යනුකූල අයිතිය ලබා ගැනීමට මේ වන විට ප‍්‍රදේශයේ දේශපාලඥයින්ගේ ද සහයෝගය මත කි‍්‍රයා කරමින් සිටී.

වනාන්තර ඉඩම් කොල්ලය සිදු වන ප‍්‍රදේශ

ගල්වැව, වැලිවැව, කුරුදාන, කැටැන්වැව, ගලහිටිය වැවට ඉහතින් පිහිටි අන්දර වැව දක්වා ප‍්‍රදේශය ගොන්නෝරුව හා බුරුතන්කන්ද අතර ප‍්‍රදේශ වල අක්කර 2000 කට වැඩි ප‍්‍රදේශයක් ඩෝසර් යන්ත‍්‍ර භාවිතා කරමින් මහ පරිමාණයෙන් වනාන්තර එළි පෙහෙළි කිරීම මේ වන විට සිදු කෙරේ. හිටපු ගුවන් හමුදාපතිවරයකු විසින් ගොන්නෝරුව හා බුරුතන්කන්ද අතර අක්කර 500 ක භූමියක් සූර්ය බලශක්ති බලාගාර ව්‍යාපෘතියක් සිදු කිරීම සදහා අලූතින් එළි පෙහෙළි කිරීම සිදු කරයි. යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයේ සිට මදුනාගල අභය භූමිය දක්වා අලි ගමන් කිරීම සිදු වන බුරුතන්කන්ද අලිමංකඬේ ඉඩම් සියල්ල ම මහවැලි අධිකාරිය මඟින් ජනතාවට බෙදා දීමේ ප‍්‍රතිඵලයක් ලෙස මදුනාගල අභය භූමිය තුළ අලි – ඇතුන් 18 ත් 20 ත් අතර ප‍්‍රමාණයක් කොටු වී සිටී. මේ සතුන් ඒ අවට ගම්මාන වලට පිවිසීම හා වගා බිම්වලට පැමිණ වගා හානි කිරීම නිරන්තරයෙන් සිදු වේ.

මීට අමතර ව මාගම්පුර වරාය ඉදි කිරීමට යොදා ගත් වනාන්තර අක්කර 5000 ක භූමියේ දැනට ඉතිරි වී තිබෙන වනාන්තර අක්කර 2500 ක කොටසෙ හි ද අලි – ඇතුන් 20 ක් පමණ රැදී සිටී. මෙම සතුන් රාති‍්‍ර කාලයේ ගම් වැදීම නිසා ගැටලූකාරී තත්ත්වයන්ට ඒ අවට ජනතාවට නිරන්තරයෙන් මුහුණ දීමට සිදු වේ. මීට බලපා ඇති ප‍්‍රධාන හේතුව යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය හා මෙම වනාන්තර කොටස අතර සම්බන්ධතාව බිද වැටීමයි. යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයේ ගොන්නෝරුව ප‍්‍රදේශය ආශි‍්‍රත ව සිටින අලින්ට බුන්දල ජාතික වනෝද්‍යානයට පිවිසීමට ඇති මාර්ගය සම්පූර්ණයෙන් ම මේ වන විට ඇහිරී තිබේ. ගල්වැව ප‍්‍රදේශයෙන් මෙම සම්බන්ධතාව වනාන්තර අතර පැවති නමුත් එම ප‍්‍රදේශයේ මහ පරිමාණයෙන් වනාන්තර එළි කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස අලි පිවිසුම් මාර්ගය සම්පූර්ණයෙන් ම ඇහිරී තිබේ. මේ සියල්ලේම ප‍්‍රතිඵලයක් ලෙස හම්බන්තොට දිස්ති‍්‍රක්කය ආශි‍්‍රත බොහෝ ප‍්‍රදේශ අලි – මිනිස් ගැටුමේ අධි අවදානම් කලාපයක් ලෙස හදුනාගෙන තිබේ.

යෝජිත රක්ෂිතයේ ඉඩම් විකිණීමේ ජාවාරම

හම්බන්තොට යෝජිත අලි කකඑතමනාකරණ රක්ෂිතයට අයත් වනාන්තර ඉඩම් මහ පරිමාණයෙන් විකිණීමේ ජාවාරමක් ද මේ වනවිට ක‍්‍රියාත්මක වේ. නින්දගම් ඉඩම් යැයි සඳහන් කරමින් වලව මහවැලි කලාපය ලෙස ප‍්‍රකාශයට පත් කර ඇති මෙම යෝජිත රක්ෂිතයට අයත් වනාන්තර ඉඩම් කට්ටි කර විකිණීම මෙලෙස සිදු කෙරේ. ගොන්නොරුව නින්දගම ලෙස හැදින්වෙන පන්වැව සිට ගොන්නොරුව දක්වා විහිදී ඇති වනාන්තර ප‍්‍රදේශයේ අක්කර 500 ක් පමණ අක්කර 25 ක් හා 50 බැගින් වන ඉඩම් කට්ටි කර කොළඹ ආශ‍්‍රිත මහ පරිමාණ ව්‍යාපාරිකයන්ට විකිණීම සිදු කර ඇත. කැටැන්වැව සිට මත්තල ආර දක්වා කොටසේ පිහිටන ගලහිටියවත්ත නින්දගම ලෙස හදුන්වන වනාන්තර ප‍්‍රදේශයේ ඉඩම් කට්ටි කර විකිණීමේ ජාවාරම ‘‘වැලි සමන්’’ යන අන්වර්ථ නාමයෙන් හදුන්වන පුද්ගලයෙකු විසින් සිදු කෙරේ.

මීට අමතර ව යෝජිත හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතයට අයත් ප‍්‍රධාන අලි මංකඩක් වන හැඩිල්ල අලිමංකඩ අවහිර කිරීම ද දේශපාලකයන් කිහිප දෙනෙකුගේ මැදිහත් වීම මත සිදු කෙරේ. හැඩිල්ල අලි මංකඩ හරහා බුන්දල ජාතික වනෝද්‍යානය හා හම්බන්තොට ප‍්‍රදේශයේ වනාන්තරවල ජීවත්වන අලි ඇතුන් ලූණුගම්වෙහෙර හා උඩවලව ජාතික වනෝද්‍යාන වලට ගමන් කිරීම සිදු කරයි. මෙම අලි මංකඩ නිවාස සංකීර්ණයක් ඉදි කර අවහිර කර තිබේ. ගොන්නොරුව හා කැටන්වැව අතර මෙම අලිමංකඩ අවහිර වන පරිදි මේ නිවාස සංකීර්ණය ඉදි කර තිබේ. හම්බන්තොට ප‍්‍රසිද්ධ දේශපාලඥයකු විසින් නින්දගම් ඉඩමක් යැයි සඳහන් කරමින් ව්‍යාජ ඔප්පුවක් සකස් කර හැඩිල්ල අලිමංකඬේ අක්කර 50 ක භූමියක් විදුලි වැටවල් සකස් කර වෙන් කර ගෙන තිබේ.

මහ පරිමාණයෙන් වනාන්තර එකඑතිකරමින් ඉඩම් කට්ටි කිරීම මෙලෙස නීතිවිරෝධී ව සිදුකරද්දී මහවැලි අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය, හම්බන්තොට දිස්ත‍්‍රික් ලේකම් හා හම්බන්තොට ප‍්‍රාදේශීය ලේකම් ඇතුළු නිලධාරීන් නිහඩ ව සිටී ම පුදුමයට කරුණකි. මේ මහ පරිමාණ වන විනාශය හා නීතිවිරෝධී ඉඩම් අල්ලා ගැනීමේ ක‍්‍රියාවලිය හේතුවෙන් අලි ඇතුන්ගේ වාසස්ථාන හා අලි මංකඩවල් අවහිර කිරීම හේතුවෙන් මතුවන අලි – මිනිස් ගැටුම ට මෙම නිලධාරින් ඍජුව ම වගකිව යුතු ය. මේ ප‍්‍රදේශයේ නින්දගම් ඉඩම් යැයි සඳහන් කරමින් ව්‍යාජ ඔප්පු සකස් කර ඉඩම් විකිණීමේ ජාවාරම පුද්ගලයින් තිදෙනෙකු විසින් ප‍්‍රසිද්ධියේ මෙහෙයවීම සිදු කරයි. “වැලි සමන්” ගොන්නොරුවේ චමින්ද හා පන්වැව තුෂී යන අන්වර්ථ නම් වලින් හැදින්වෙන පුද්ගලයින් විසින් මේ සමස්ත ජාවාරම මෙහෙයවනු ලැබේ. ඒ සඳහා සියලූ දේශපාලන පක්ෂවල ප‍්‍රබලයින් ඔවුන් ට දේශපාලන රැකවරණ ලබා දේ.

රක්ෂිතය ප‍්‍රකාශයට පත් නොකිරීමේ ප‍්‍රතිඵල

වලව වම් ඉවුරු සංවර්ධන ව්‍යාපෘතියෙන් හා පසුගිය කාලයේ කි‍්‍රයාත්මක කකඑත හම්බන්තොට මහ පරිමාණ අක‍්‍රමවත් සංවර්ධන කටයුතු හේතුවෙන් වනාන්තර අක්කර 20,000 ක් සම්පූර්ණයෙන් ම විනාශ කිරීම හේතුවෙන් වාසස්ථාන අහිමි වූ අලි – ඇතුන් ගම් වැදීමෙන් දැවැන්ත අලි – මිනිස් ගැටුමක් මේ වන විට හම්බන්තොට ආශි‍්‍රත ප‍්‍රදේශ ගණනාවක වර්ධනය වෙමින් තිබේ. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස පසුගිය වසර තුන තුකඑත දී පමණක් වගා බිම්වලට පැමිණි අලි – ඇතුන් 31 ක් පමණ වෙඩි තැබීමෙන්, හක්කපටස් භාවිතයෙන් හා විදුලි සැර යෙදීමෙන් ඝාතනය කර තිබේ. එපමණක් නොව අලි – ඇතුන්ගේ ප‍්‍රහාරයට ලක් ව මිනිසුන් 15 දෙනෙකු පමණ මියගොස් තවත් පුද්ගලයන් අටදෙනෙකු පූර්ණ ආබාධිත තත්ත්වයට පත් ව සිටී.

මේ තත්ත්වය පාලනය කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යෝජනා කළ “හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය” ප‍්‍රකාශයට පත් නොකිරීම හා ඊට අයත් වනාන්තර ඉඩම් මහවැලි අධිකාරිය ශීඝ්‍රයෙන් එළි පෙහෙළි කර බොරළු කැණීම, කළු ගල් කැඞීම මෙන්ම විවිධ සංවර්ධන කටයුතු හා වාණිජ වගාවන් සඳහා ලබා දීම හේතුවෙන් මේ තත්ත්වය තව තවත් උග‍්‍ර වෙමින් පවතී. එපමණක් නොව පසුගිය රජය පැවති සමයේ දී යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයේ විවිධ ප‍්‍රදේශ වල අලූතින් ගම්මාන පිහිටුවීම හා වාණිජ වගාවන් සදහා ඉඩම් ලබා දීම හේතුවෙන් මෙම තත්ත්වය තවතවත් වර්ධනය වෙමින් තිබුණිඃ39ත ඒ තත්ත්වය තවත් දෙගුණ කිරීමට 2010-2015 කාල වකවානුවේ දී මෙන් ම අද වන විට ද ප‍්‍රදේශයේ ප‍්‍රබල දේශපාලඥයින්ගේ හිතවතුන්ට හා සමාගම් වලට වනාන්තර ඉඩම් බෙදා දෙමින් සිටී. මේ අයුරින් වනාන්තර අවභාවිතාව පමණක් නොව ඔවුන් විසින් මෙම රක්ෂිතය ප‍්‍රකාශයට පත් කිරීමට ද ඉඩප‍්‍රස්ථාව ලබා නොදේ.

හම්බන්තොට අලි කකඑතමනාකරණ සැලැසුම උඩවලව, ලූණුගම්වෙහෙර හා බූන්දල ජාතික වනෝද්‍යාන සම්බන්ධ කරමින් අලි – ඇතුන් ගේ සංක‍්‍රමණික රටාවන් හඳුනාගෙන හම්බන්තොට අලි – මිනිස් ගැටුම පාලනය කිරීම සඳහා වනාන්තර ප‍්‍රදේශ ජාල ගත කිරීම අරමුණු කර ගෙන ”හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය” ප‍්‍රකාශයට පත් කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යෝජනා කර තිබේ. ඒ මගින් හම්බන්තොට ප‍්‍රදේශයේ ජීවත් වන අලි – ඇතුන් 450 ක ගේ පමණ වාසස්ථාන සුරක්ෂිත කිරීමේ හැකියාව පවතී. 2009 අංක 22 දරන පනතින් අවසන් වරට සංශෝධිත 1937 අංක 2 දරන වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥ පනතේ 2 වන වගන්තියට අනුව මෙම රක්ෂිතය ප‍්‍රකාශයට පත් කිරීමට යෝජිත ව ඇත.

ගජ මිතුරෝ වැඩසටහන යටතේ 2009 වසරේ සිට 2011 වසර දක්වා කාලය තුළ හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ සියලූ ම රාජ්‍ය ආයතනවල හා ප‍්‍රදේශවාසීන් ගේ සහභාගිත්වයෙන් යුතු ව සකස් කකඑත මේ සැලැසුම සඳහා 2012 වසරේ දී ගජ මිතුරෝ දිස්ත‍්‍රික් කමිටුව විසිින් ඒකමතික ව අනුමැතිය ලබා දී තිබේ. එම සැලැසුමට අනුව හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය ප‍්‍රකාශයට පත් කිරීම, විදුලිවැටවල් ඉදිකිරීම හා අලි මංකඩවල් විවෘත කිරීම ඇතුළු ක‍්‍රියාමාර්ගවලට පිවිසීමට නියමිත ව තිබුණි. මේ සියලූ ම සැලැසුම් ක‍්‍රියාත්මක කිරීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප‍්‍රාදේශීය නිලධාරීන් විසින් සකස් කළ වාර්තා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන කාර්යාලය වෙත යොමු කර වසර නවයකට වැඩි කාලයක් ගත වී ඇතත් ඉදිරි කි‍්‍රයාමාර්ග මේ වන තුරුත් ගෙන නොමැත.

මීට අමතර ව මේ සැලැසුම සඳහා ඉඩම් අත්පත් කර ගැනීමේ යෝජනාව දැනට වසර හතකට ප‍්‍රථම ඉඩම් අමාත්‍යාශය වෙත යොමු කර තිබුණ ද එහි කිසිදු ප‍්‍රගතියක් මේ වන විටත් දැක ගත නොහැකි ය. රක්ෂිත ප‍්‍රදේශ ජාලගත කිරීමට ප‍්‍රධාන අලිමංකඩවල් තුනකින් සමන්විත ව මෙම සැලැසුම සකස් කර තිබේ. ඒ අනුව යෝජිත හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතයට බූන්දල ජාතික වනෝද්‍යානයේ සිට අලි සංක‍්‍රමණය වන ප‍්‍රධාන අලි මංකඩ පිහිටා ඇත්තේ කොහොලංකල ප‍්‍රදේශයේ ය. මෙය කොහොලංකල – කෑලියපුර අලි මංකඩ ලෙස හැඳින්වේ. යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය හා ලූණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානය සම්බන්ධ වනුයේ උනාතුවැව අලි මංකඩෙනි. මේ අලි මංකඩ ද මේ වන විට ඇහිරී ඇති අතර එය විවෘත කිරීම සඳහා ද සැලැසුම් සකස් කකඑත යුතු ව ඇත.

දේශපාලන බලපෑම් මත රක්ෂිතය ප‍්‍රකාශයට පත් නොකිරීම

යෝජිත රක්ෂිතය හා උඩවලව ජාතික වනෝද්‍යානය සම්බන්ධ වන්නේ උඩවලව – තණමල්විල මාර්ගයේ 31 හා 32 කිලෝමීටර කණු අතර ප‍්‍රදේශය හරහා ය. මේ අලි මංකඩ විවෘත කිරීම සඳහා ප‍්‍රදේශයේ දේශපාලඥයින් විරෝධතාව දැක්වීම හේතුවෙන් මෙතෙක් ඒ පිළිබඳ සැලැසුම් සකස් කිරීමට නොහැකි වී තිබේ. මෙහි අවසාන ප‍්‍රතිඵලය වන්නේ දිනෙන් දින අලි – මිනිස් ගැටුම උග‍්‍ර තත්ත්වයකට පත් වීම හා යෝජිත රක්ෂිතය පියවරෙන් පියවර සංවර්ධන කටයුතු සදහා යොදා ගැනීමයි.

මේ වන විට යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයේ සූරිය වැව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මහ අන්දර වැව හා පහළ අන්දර වැව අතර පිහිටි හාමුදුරු වැව් ඉහත්තාවේ අක්කර 2000 ක් පමණ එළි පෙහෙළි කර මහ පරිමාණයෙන් කෙසෙල් වගා කර තිබේ. පුද්ගලයින් අටදෙනෙකු විසින් මෙම වගා බිම් පවත්වාගෙන යයි. විදුලි වැටවල් සකස් කර පවත්වාගෙන යන මෙම අනවසර වගා බිම් හේතුවෙන් අලින්ගේ වාසස්ථාන අවහිර වීම නිසා මහ අන්දර වැව, වල්සපුගල, කරුවල වැව, තිස්සපුර හා රණමයුරපුර ප‍්‍රදේශ වල ගොවීන්ගේ වගා බිම් වලට අලින්ගෙන් සිදු වන හානි වර්ධනය වී තිබේ.

මීට අමතර ව වීර වැව, ගලහිටිය වැව, එළල්ල වැව හා පුස්ගලේ වැවට අලි – ඇතුන්ට පිවිසීමට ඇති ඉඩකඩ විදුලි වැටවල් හා වගා බිම් නිසා සම්පූර්ණයෙන් ම අවහිර වී තිබේ. මීට අමතර ව අන්දර වැවේ ජලය වතුර මෝටර් 81 ක් මගින් මහ පරිමාණයෙන් ලබා ගෙන අනවසර වගා බිම් වලට යෙදීම හේතුවෙන් මෙම වැව යටතේ වගා කරන ගොවීන්ට උග‍්‍ර ජල හිගයකට මුහුණ පෑමට සිදු වී ඇත.

යෝජිත රක්ෂිතයේ නීති විරෝධී ව්‍යාපෘති

මේ වන විට යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය තුළ අයිරිෂ්, ඇනෝචි, ෆාර්නා, නැවිටාස් යන සමාගම් විසින් සූර්ය බලශක්ති බලාගාර ඉදිකිරීම සඳහා තිස්සපුර, බුරුතංකන්ද ප‍්‍රදේශයේ වනාන්තර අක්කර 600 ක් නීති විරෝධී ලෙස සම්පූර්ණයෙන් ම එළි පෙහෙළි කර තිබේ.

වල්සපුගල, දිවුල්පැලැස්ස වැව් ඉහත්තෑවේ අලි – ඇතුන් ජීවත් වූ අක්කර 300 ක ට වැඩි වනාන්තර භූමි ප‍්‍රදේශයක් සම්පූර්ණයෙන් ම එළි පෙහෙළි කර මහ පරිමාණ සූර්ය බලශක්ති ගම්මානයක් ඉදි කර තිබේ. මෙම වැව හා ආශි‍්‍රත ප‍්‍රදේශය අලි – ඇතුන් විශාල රංචු වශයෙන් ජීවත් වූ ප‍්‍රදේශයකි. මෙම බලාගාරය නිසා ඒ සියල්ල අහිමි වී ඇත. මෙයට අමතර ව හිටපු ගුවන්හමුදාපතිවරයකු විසින් විවිධ පුද්ගලයින් ඉදිරිපත් කර වනාන්තර හෙක්ටයාර 60 ක් සූර්ය බලශක්ති බලාගාර ඉදිකිරීම සඳහා මහවැලි අධිකාරියෙන් ඉඩම් නිදහස් කර ගෙන තිබේ.

එම ඉඩම් අතුරින් හෙක්ටයාර 40 ක් සෙනොක් ආයතනයට සූර්ය බලාගාර ඉදිකිරීමට නීති විරෝධීව පවරා තිබේ. සාගර් සෝලා බලාගාරයට යාබදව බුරුතංකන්ද ප‍්‍රදේශයේ වනාන්තර හෙක්ටයාර 20 ක භූමියක් ඉවත් කර සූර්ය බලශක්ති බලාගාරයක් ඉදිකිරීම සිදු කර ඇත. මේ සියල්ල ම ජාතික පාරිසරික පනත උල්ලංඝනය කරමින් නීති විරෝධී ව සිදු කර තිබේ.

ඒ අතරතුර මහවැලි අධිකාරිය මඟින් කෑලියපුර, ගොන්නෝරුව, කැටැන්වැව, පහළ අන්දරවැව හා කුඩාඉදිවැව යන ප‍්‍රදේශවල ව්‍යාප්තව ඇති යෝජිත රක්ෂිතයට අයත් වනාන්තර අක්කර 6000 ක් පමණ සංවර්ධනය කර වාණිජ ඉඩම් ලෙස ලබා දී තිබේ.

මේ නිසා යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයෙන් වැඩි කොටසක් අලි – ඇතුන්ට අහිමි වී ගැටලූ ගණනාවකට අලි – ඇතුන්ට හා ඒ අවට ජනතාවට මුහුණ දීමට සිදු ව ඇත. යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයට අයත් උඩමළල ප‍්‍රදේශයේ ලෝලූගස්වෑකඩ, මැටිගත්වැව, පරෙන්ගි වැව, කළා වැව, ස්වර්ණමාලී වැව හා මායියන් වැව ආවරණය වන පරිදි අක්කර 1500 ක භූමියක් තෙල් පිරිපහදු පද්ධතියක් ඉදි කිරීමට චීන සමාගමකට ලබා දීමට සැලැසුම් කෙරෙමින් පවතී. මැටිගත් වැව හා ස්වර්ණමාලී වැව යටතේ කුඹුරු අක්කර 90 ක් පමණ වී වගා කෙරේ. මෙම වැව් දෙකට වලව වම් ඉවුරු ඇළ යටතේ ජලය සැපයෙන අතර ඒ මගින් යල මහ දෙකන්නයේ වී වගාව සිදු කෙරේ.

එවැනි වැව් පද්ධති මෙවන් ව්‍යාපෘති සදහා යොදා ගැනීමෙන් සුළු පරිමාණ ගොවි ජනතාව දැඩි අර්බුදයකට ලක් වේ. මීට අමතර ව මෙම ප‍්‍රදේශයේ කිරි ගොවීන් 15 දෙනෙකු පමණ එ*කඑත හා මී ගව පාලනයේ නිරත වේ. මෙම වැව් රක්ෂිත වෙහෙරගල රක්ෂිතය ලෙස වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන අතර මෙම වනාන්තරය හරහා බුන්දල ජාතික වනෝද්‍යානය දෙසට අලි සංක‍්‍රමණය වේ. මෙම වනාන්තරය තෙල් පිරිපහදු පද්ධතියක් ස්ථාපිත කිරීම සදහා නිදහස් කිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විරෝධතාව පළ කර ඇති නමුත් මාගම්පුර වරාය චීන සමාගමට මේ වන විට ලබා දී ඇති අතර එහි කි‍්‍රයාකාරීත්වයත් සමග මෙය නැවත මතු වෙමින් පවතී.

යෝජිත රක්ෂිතයේ අනවසර වගා බිම් හා කළුගල් වලවල්

යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය තුකඑත පිහිටි මහවැලි අධිකාරියට අයත් වනාන්තර භූමි මහ පරිමාණයෙන් එළි පෙහෙළි කර අනවසර වගා බිම් පවත්වාගෙන යන ස්ථාන ගණනාවක් වේ. එනම් හාමුදුරු වැව, ඉහළ අන්දර වැව, සීනුක්කුගල, පහළ අන්දර වැව, දිමුතුගම හා වැලි වැව ප‍්‍රදේශ වල ය. මීට අමතර ව යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වනාන්තර එළි පෙහෙළි කර ස්ථාන ගණනාවක මහ පරිමාණයෙන් අනවසර වගා බිම් පවත්වාගෙන යනු ලැබේ. එනම් රතුකුරුස වැව, දක්ෂිණ වැව, අලූත් වැව, කඩවර වැව, බදගිරිය වැව, මහ අලූත්ගංආර වැව, රණවරුනාව වැව හා දෙව්රන්වෙහෙර වැව යන ප‍්‍රදේශ වල ය. මයුරපුර හා නාගර වැව ප‍්‍රදේශයේ මහ පරිමාණයෙන් පස් කැපීම සිදු කරණ අතර අධිවේගී මාර්ග ඉදි කිරීම සදහා ස්ථාන ගණනාවකින් වනාන්තර එළි පෙහෙළි කර මහ පරිමාණයෙන් පස් කැපීම සිදු කරයි.

යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය තුළ පිහිටි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට හා මහවැලි අධිකාරියට අයත් වනාන්තර ඉඩම් එළි පෙහෙළි කර මහ පරිමාණ කළු ගල් වලවල් පවත්වාගෙන යනු ලැබේ. වෙහෙරගල හා මහ අලූත්ගංආර ප‍්‍රදේශ වල වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වනාන්තර මේ සදහා යොදා ගෙන ඇත. මීට අමතර ව මයුරපුර, සීනුක්කුගල, කැටැන්වැව, ඉහළ අන්දරවැව, කුඩා ඉදිවැව, ගලහිටිය හා ගොන්නෝරුව ප‍්‍රදේශ වල මහවැලි අධිකාරියට අයත් වනාන්තර එළි පෙහෙළි කර මහ පරිමාණයෙන් කළුගල් වලවල් පවත්වාගෙන යාම සිදු කරයි.

මහවැලි අධිකාරියේ දුර්වලතා

මේ ආකාරයෙන් අවභාවිතා වන යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයෙන් සියයට 40 ක් පමණ ආවරණය වන්නේ මහවැලි අධිකාරියට අයත් වනාන්තර ඉඩම් වලිනි. 1979 අංක 23 දරණ ශී‍්‍ර ලංකා මහවැලි අධිකාරී පනතේ 3 (1) වගන්තියට අනුව 1981 අපේ‍්‍රල් 16 වන දින අංක 137 දරන ගැසට් නිවේදනය මගින් වලව බල ප‍්‍රදේශය වශයෙන් විශාල භූමි ප‍්‍රමාණයක් මහවැලි අධිකාරිය යටතට පවරා දී තිබේ. එසේ පවරා දී ඇත්තේ මෙම සමස්ත ප‍්‍රදේශයේ ම වනාන්තර එළි පෙහෙළි කර සංවර්ධනය කිරීමට නොවේ.

මහවැලි කඩිනම් සංවර්ධන ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කිරීමේ දී වනාන්තර එළි පෙහෙළි කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස වාසස්ථාන අහිමි වූ අලි – ඇතුන් ඇතුළු සියලූ ජෛව ප‍්‍රජාවට හා ජල පෝෂක ප‍්‍රදේශ වල සුරක්ෂිතතාව ඇති කිරීම සඳහා ජාතික වනෝද්‍යාන ඇතුළු බොහෝ ආරක්ෂිත ප‍්‍රදේශ ප‍්‍රකාශයට පත් කරන ලදී. නමුත් වලව ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කිරීමේ දී වාසස්ථාන අහිමි වූ අලි – ඇතුන් ඇතුළු ජෛව ප‍්‍රජාවට හා ජල පෝෂක ප‍්‍රදේශ වල සුරක්ෂිතතාව තහවුරු කිරීමට මහවැලි අධිකාරියට අයත් කිසිදු වනාන්තර ප‍්‍රදේශයක් රක්ෂිත තත්ත්වයට පත් කර නොමැත.

වලව වම් ඉවුරු ප‍්‍රදේශය සංවර්ධනයේ දී මෙන්ම පසුගිය රජයේ හම්බන්තොට මහ පරිමාණ සංවර්ධන ව්‍යාපෘති කි‍්‍රයාත්මක කිරීමේ දී වාසස්ථාන අහිමි වූ අලි – ඇතුන් ඇතුළු සියලූ ජෛව ප‍්‍රජාව තවමත් අවතැන්ව සිටී. වැව් හා ජලාශ වල පමණක් නොව මව් ආර හා මලල ආර පෝෂණය කරන බොහෝ වනාන්තර ප‍්‍රදේශ මේ වන විට සංවර්ධනයේ නාමයෙන් අහිමි වෙමින් තිබේ. මහවැලි අධිකාරියට වන සතුන්ගේ වාසස්ථාන වල හෝ ජල පෝෂක වනාන්තර වල වැදගත්කම පිළිබඳව කිසිදු හැගීමක් නොමැත.

ඔවුන්ට අවශ්‍ය වන්නේ මෙම වනාන්තර විවිධ සමාගම් වලට හෝ පුද්ගලයින්ට බදු දීමට ය. 1981 ගැසට් නිවේදනය මඟින් වලව බල ප‍්‍රදේශය ප‍්‍රකාශයට පත් කර ඇත්තේ එම සමස්ත ප‍්‍රදේශය ම සංවර්ධනය කර විනාශ කිරීමට යැයි මහවැලි අධිකාරියේ නිලධාරීහූ විශ්වාස කරති. නමුත් වලව බල ප‍්‍රදේශය ප‍්‍රකාශයට පත් කර ඇත්තේ සංවර්ධනය සඳහා පමණක් නොව වනාන්තර පරිසර පද්ධති නිසි පරිදි ආරක්ෂා කරමින් සමස්ත ව්‍යාපෘතියේ තිරසාර පැවැත්ම තහවුරු කිරීමට ය.

අද සිදු වන වේගයෙන් මහවැලි අධිකාරිය මේ ප‍්‍රදේශයේ ඉතිරි වී තිබෙන වනාන්තර සංවර්ධනය සඳහා යොදා ගතහොත් ඉදිරියේ දී අලි – මිනිස් ගැටුම උග‍්‍ර වීම හා ජල අර්බුද උග‍්‍ර වීම වලක්වා ගත නොහැකි වන අතර වලව සංවර්ධන ව්‍යාපෘතිය ද කෙටි කලකින් බිඳ වැටෙනු ඇත. මේ පිළිබඳව නොසිතන නිලධාරීන් මහවැලි අධිකාරියේ සිටීම කනගාටුවට කරුණකි.

යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය තුළ මහවැලි අධිකාරියට අයත් සුවිශේෂී වනාන්තර පද්ධති ගණනාවක් පිහිටා තිබේ. එම වනාන්තර සියල්ලම පසුගිය කාලය මුළුල්ලේම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ආරක්ෂා කරන ලදී. නමුත් අද වන විට එම වනාන්තර වාණිජ වගාවන් ව්‍යාප්ත කිරීමට, බොරලූ හා කළු ගල් ලබා ගැනීමට සමාගම් වලට හා විවිධ පුද්ගලයින්ට එම අධිකාරියෙන් ලබා දීම සිදු කරයි. මහවැලි අධිකාරියට අවශ්‍ය වන්නේ මුදල් ඉපයීම පමණි.

ඔවුන් වන සතුන්ගේ පැවැත්ම හෝ ජල පෝෂක වල පැවැත්ම පිළිබදව කිසිදු අවබෝධයක් හෝ ඒ පිළිබඳව සිතා බැලීමක් හෝ සිදු නොකරයි. යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය තුළ පිහිටි මහවැලි අධිකාරියට අයත් වනාන්තර ප‍්‍රදේශ හයක් මේ වන විට අනාරක්ෂිතව පවතී. මදුනාගල අභය භූමිය ආශි‍්‍රත ව පිහිටි හෙක්ටයාර 300 ක් පමණ වන කරඹගස්මුල්ල ඖෂධ වනය ඒ අතුරින් ප‍්‍රධාන වේ. මීට අමතර ව වැවේ ගම, වැලි ආර, බැදි වැව, බෝගහ ඉදි වැව, කුඩා ඉදි වැව ආශි‍්‍රත ප‍්‍රදේශවල ව්‍යාප්ත ව ඇති කෝන්කැටි ආර වනාන්තරය හෙක්ටයාර 700 ක් පමණ වේ. මෙම ඝන වනාන්තරය තුළ අලි – ඇතුන් බහුල ව ජීවත් වන අතර මව් ආර ව්‍යාපෘතියට අදාළ ඇළ මාර්ග බොහොමයක ජල පෝෂක ප‍්‍රදේශ වේ.

මහ ඉදිවැව හා ඉහළ කුඹුක් වැවේ ඉහත්තාවේ ජල පෝෂක ප‍්‍රදේශ ලෙස පිහිටන වනාන්තර හෙක්ටයාර 120 ක් පමණ මහවැලි අධිකාරිය යටතේ පාලනය වේ. ඒ අතර මහ ඉදි වැව ඉහත්තාවේ පිහිටන හෙක්ටයාර 20 ක් පමණ වන සූරියමාර වන වගාව අද වන විට ඉතා හොඳින් ස්වභාවීකරණයට ලක් ව තිබේ. ගොන්නෝරුව පාර හා මලල ආර අතර පිහිටි හෙක්ටයාර 400 ක් පමණ වන වනාන්තර ප‍්‍රදේශය හා පහළ අන්දර වැව, හැඹිල්ල, කැටැන් වැව යන ගම්මාන ආශි‍්‍රත ව පිහිටි හෙක්ටයාර 200 ක් පමණ වන එලල්ල වනාන්තර ප‍්‍රදේශයේ මහවැලි අධිකාරිය යටතේ පාලනය වේ. මේ වනාන්තර ප‍්‍රදේශ සියල්ල ම කඩිනමින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පවරා ආරක්ෂා කළ යුතු ව ඇත. එසේ නොවුනහොත් ඉතා ම කෙටි කලකින් මෙම වනාන්තර සියල්ල ම මහවැලි අධිකාරියෙන් සම්පූර්ණයෙන් විනාශ කර දමනු ඇත.

මහවැලි අධිකාරියට අයත් නොවන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් තවත් වනාන්තර ප‍්‍රදේශ ගණනාවක් යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයට අයත් ය. හෙක්ටයාර 600 ක් පමණ වන තම්මැන්න – බදගිරිය අවශේෂ කැලය, හෙක්ටයාර 500 ක් පමණ වන බුන්දල – සිරියගම අවශේෂ කැලය, හෙක්ටයාර 2000 ක් පමණ වන රන්මුදු වැව වන රක්ෂිතය හා හෙක්ටයාර 600 ක් පමණ වන කැලිගම – කොහොලංකල අවශේෂ කැලය ඒ අතර ප‍්‍රධාන වේ. මෙම වනාන්තර ද අද වන විට දැඩි අවදානමකට ලක් ව තිබේ.

පසුගිය 2010-2015 රජය පැවති සමයේ දී කැලිගම – කොහොලංකල අවශේෂ කැලයේ වනාන්තර අක්කර 1000 ක් නාගරික සංවර්ධන අධිකාරිය යටතට පැවරීමට අත්පත් කර ගෙන තිබේ. එම වනාන්තර ප‍්‍රදේශය කොහොලංකල අලි මංකඩ ලෙස සැලකෙන ඉතා ම වැදගත් වනාන්තර ප‍්‍රදේශයකි. මෙම ප‍්‍රදේශයේ වනාන්තර විනාශ කිරීමෙන් හා සංවර්ධනය කිරීමෙන් අලි ඇතුන්ගේ සාම්ප‍්‍රදායික අලිමංකඩ අහිමි වී ගැටලූ බොහොමයක් උද්ගත වී ඇත.

මලල ආරට ඉහළින් පිහිටි තම්මැන්නාව – බදගිරිය අවශේෂ වනය ලූණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානය හා බුන්දල ජාතික වනෝද්‍යානය අතර අලි ගමන් කරන ප‍්‍රධාන මංකඩකි. මෙම ප‍්‍රදේශයේ ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ඉඩම් පිහිටා ඇති බව සඳහන් කරමින් විවිධ පුද්ගලයන් විසින් වනාන්තර ඉඩම් නිදහස් කර ගැනීමට උත්සාහ දරයි. මෙම වනාන්තර ප‍්‍රදේශයේ අක්කර 50 ක භූමියක් කජු වගාවක් සඳහා ලබා ගැනීමට මේ වන විට උත්සාහ දරන අතර එම ඉඩම් නිදහස් කිරීමට ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාව ද පියවර ගනිමින් සිටී.

මීට අමතර ව බඳගිරිය ජලාශය ඉදි කිරීමේ දී අවතැන් වූ ජනතාවට විකල්ප ඉඩම් ලබා දී ඇති නමුත් ජලාශයට යට වූ භූමි ප‍්‍රදේශ වල ඉඩම් ඔප්පු භාවිතා කරමින් ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් වනාන්තර නිදහස් කර ගැනීමට හම්බන්තොට ප‍්‍රදේශයේ පෞද්ගලික පංති පවත්වන ගුරුවරයකු ඇතුළු සංවිධානාත්මක පිරිසක් උත්සාහ දරති.

යෝජිත රක්ෂිතය තුළ අලි – ඇතුන් වැනසීම මේ සියල්ලේ ම ප‍්‍රතිඵලය ලෙස යෝජිත හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය තුළ හා ඒ ආශ‍්‍රිත ව පිහිටි කැටන්වැව, කුඩා ඉදිවැව, නාගරවැව, පන්වැව, වල්සපුගල, තැලවිල්ල, ඉලූක්පැලැස්ස, සීනුක්කුගල හා මැටිගත්වැව ආදී ප‍්‍රදේශවල වගා බිම්වලට පැමිණෙන අලි – ඇතුන් වෙඩි තබා හෝ විදුලිසැර යොදා ඝාතනය කිරීම වර්ධනය වී තිබේ.

මේ ප‍්‍රදේශයේ අලි මරණ හා අලි ප‍්‍රහාරයට ලක් ව සිදු වූ මිනිස් මරණවලට සෘජුව ම වගකිව යුතු වන්නේ නිවැරදි උපායමාර්ගික සැලසුමකින් තොරව හම්බන්තොට සිදු කකඑත අවිධිමත් සංවර්ධන කටයුතු ය. ලංකාවේ දෙවන ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඉදි කිරීම සඳහා පමණක් මත්තල ප‍්‍රදේශයේ අලි – ඇතුන්ගේ ප‍්‍රධාන වාසස්ථානයක් වූ දැවැන්ත වනාන්තර පද්ධතියේ අක්කර 5000ක් සම්පූර්ණයෙන් යොදා ගැනීම සිදු කෙරිණ.

ඉන්පසුව ඒ ආශ‍්‍රිත මාර්ග පද්ධති හා යටිතල පහසුකම් නැංවීමට, මාගම්පුර වරාය ඉදි කිරීමට, හම්බන්තොට ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාව, මිරිජ්ජවිල ආයෝජන කලාපය, හම්බන්තොට පරිපාලන සංකීර්ණය, අධිවේගී මාර්ග පද්ධතිය ඉදි කිරීම හා ක‍්‍රිකට් ක‍්‍රීඩාපිටිය ඉදි කිරීම සඳහා ද දැවැන්ත වනාන්තර ප‍්‍රමාණයක් ඉවත්
කෙරිණ. මේ හේතුවෙන් පහළ අන්දරගස්වැව, දිමුතුගම, එළල්ල,පහළ මත්තල, උඩ මත්තල, පුංචිඅප්පු ජදුර, බදගිරිය සහ ලූණුගම්වෙහෙර ව්‍යාපාරය යටතේ සංවර්ධනය කකඑත කුඩා ගම්මාන 5 හා 6 ප‍්‍රදේශවලට වාසස්ථාන අහිමි වූ අලි – ඇතුන් පිවිසීමෙන් දැවැන්ත අලි – මිනිස් ගැටුමක් අලූතින් නිර්මාණය වී තිබේ. මේ නිසා වගා බිම් වලට හා දේපොළ වලට සිදු වී ඇති හානිය සුළුපටු නොවේ. සමහර ගොවි ජනතාව වගා කටයුතු වලින් ඉවත් වීමට පවා මේ තත්ත්වය බලපා තිබේ.

මේ වන විනාශයේ ප‍්‍රතිඵලය වී ඇත්තේ අලි – මිනිස් ගැටුම මෙතෙක් නොපැවති බොහෝ ප‍්‍රදේශ එහි ගොදුරු බවට පත් කිරීම පමණක් ම නොවේ. පසුගිය කාලයේ පැවති උග‍්‍ර නියං තත්ත්වයට හා ඒ සමග ම උද්ගත වූ දැවැන්ත ජල අර්බුදයට ප‍්‍රධාන හේතුව වී ඇත්තේ ද මේ මහා පරිමාණ වනාන්තර විනාශ යයි.

හම්බන්තොට අලි – ඇතුන් අනාථ වී ඇති ආකාරය

අද වන විට නිසි සැලැසුමකින් තොරව ඉදි කළ හම්බන්තොට වරාය පරිශ‍්‍රය තුළ මිරිජ්ජවිල ආයෝජන කලාපය තුළ හම්බන්තොට පරිපාලන සංකීර්ණය පිටුපස පිහිටි වනාන්තර කොටස තුළ ක‍්‍රීඩා පිටිය ආශ‍්‍රිත නුගේගලයාය, එඩිසන් කන්ද ආශ‍්‍රිත ව සහ මෙම සංවර්ධන කටයුතු හේතුවෙන් හුදකලා වී ඇති වනාන්තර කුට්ටි ලෙස පවතින, මානජ්ජාව කැලය, මදුනාගල වනාන්තරය, නාගරවැව ප‍්‍රදේශය, ඉහළ කුඹුක්වැව හා කුමාරගම කැලෑ ප‍්‍රදේශයේ අලි – ඇතුන් විශාල ප‍්‍රමාණයක් හුදකලාව සිටිති. මේ සියලූ සතුන් අනාථ වී සිටින්නේ හම්බන්තොට අවිධිමත් සංවර්ධනයේ ප‍්‍රතිඵලයක් ලෙස ය. යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය දෙකඩ කරමින් මාතර සිට හම්බන්තොට දක්වා අධිවේගී මාර්ගය ඉදි කර ඇති අතර මාතර සිට ඉහළ අන්දර වැව හරහා මත්තල ගුවන්තොටුපොළ දක්වා ඉදිකර ඇති අධිවේගී මාර්ගය හා මාගම්පුර වරායේ සිට ඉහළ අන්දරවැව දක්වා ඉදිකර ඇති අධිවේගී මාර්ග පිවිසුම හේතුවෙන් මෙම රක්ෂිතයේ වනාන්තර පද්ධති දැඩි ලෙස ඛණ්ඩනය වීමට ලක් ව තිබේ.

මේ වන විට අධිවේගී මාර්ගය සකස් කිරීම සඳහා මීටර් 150 ක් පමණ පළල හා කිලෝමීටර් 8 ක් පමණ දිග වනාන්තර තීරයක් සම්පූර්ණයෙන් ම ඉවත් කර ඇත. මෙම අධිවේගී මාර්ග හේතුවෙන් යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයේ සීනුක්කුගල, වල්සපුගල, කරුවලවැව වනාන්තර ප‍්‍රදේශය සම්පූර්ණයෙන් ම අලි ඇතුන් සමග ම හුදකලා වීම සිදු ව තිබේ. මේ පිළිබඳ ව අදාළ සැලසුම් සකස් කරන්නන් ගේ අවධානය යොමු නොකිරීමෙන් සිදු ඇත්තේ අවට ජනතාව අලි – මිනිස් ගැටුමට තව තවත් ගොදුරු වීම ය.

යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මහවැලි අධිකාරියට අයත් ඉඩම් වලින් සමන්විත වුව ද බොහෝ ඉඩම් අද වන විට දේශපාලන බලය හා නිලධාරීන් මුදලට යට වීම මත මහ පරිමාණයෙන් එළි පෙහෙළි කර විවිධ ව්‍යාපෘති සදහා භාවිතා කිරීමට සමාගම් වලට හා විවිධ පුද්ගලයින්ට ලබා දේ. මහවැලි අධිකාරිය වනාන්තර වාණිජ වගාවන් ව්‍යාප්ත කිරීම හා විවිධ සංවර්ධන කටයුතු සදහා ලබා දීම අඛණ්ඩව සිදු කරන නමුත් මෙම ප‍්‍රදේශයේ අලි – මිනිස් ගැටුම පාලනය කිරීම සදහා යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය ප‍්‍රකාශයට පත් කිරීමට ඉඩකඩ ලබා නොදේ. එපමණක් නොව මෙම ප‍්‍රදේශයේ මහ පරිමාණයෙන් වනාන්තර එළි පෙහෙළි කිරීම සදහා අනුමැතිය ලබා දෙන්නේ ජාතික පාරිසරික පනත උල්ලංඝනය කරමිනි.

හම්බන්තොට සංවර්ධනයෙන් අලි – මිනිස් ගැටුම උග‍්‍ර කිරීම

මාගම්පුර වරාය, මත්තල ගුවන් තොටුපොළ හා හම්බන්තොට අධිවේගී මාර්ග ජාලය ඉදිකිරීමට ප‍්‍රථම සකස් කළ පරිසර බලපෑම් ඇගයීම් වාර්තාවල පැහැදිලිව සඳහන් කර ඇත්තේ මේ සංවර්ධන කටයුතු හේතුවෙන් අවතැන්වන අලි – ඇතුන්ට රැකවරණය සැලසීම සඳහා හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය ප‍්‍රකාශයට පත් කළ යුතු බව ය. නමුත් එය එම වාර්තාවලට පමණක් සීමා කර දැනට යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය අවිධිමත් හම්බන්තොට සංවර්ධනයේ දැවැන්ත ගොදුරක් බවට පත් ව තිබේ. මේ තත්ත්වය හේතුවෙන් වල්සපුගල, කරුවලවැව, මදුනාගල, හැඩිල්ල, කරඹගහමුල්ල, නබඩගස්වැව කටු වැව, පතලයාගම, ආරබැද්ද, කැලිගම, ගල්වැව, හොඩවැල් පොකුණ, බැල්ලගස් වැව, බැරගම, අම්බලන්තොට, මානජ්ජාව, වැවේගම, වැලි ආර, වැලි වැව, මීගහජදුර, මත්තල, උඩමත්තල, ගොන්නෝරුව, බදගිරිය, තම්මැන්නාව, කැරුස වැව, ජූල්ගමුව, යහන්ගල, අන්දරවැව, පන්වැව, සීනුක්කුගල, නාගරවැව, කුඩා ඉදිවැව, කැටැන්වැව හා උණුදිය පොකුණ ආදී ප‍්‍රදේශවල අලි – මිනිස් ගැටුම උග‍්‍ර තත්ත්වයකට පත් ව තිබේ.

ගුවන්තොටුපොළ, වරාය, ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණශාලාව හා අධිවේගී මාර්ග ජාලය ඇතුළු හම්බන්තොට මහ පරිමාණ සංවර්ධන කටයුතු සදහා අක්කර 20000 ක ට අධික වනාන්තර ප‍්‍රමාණයක් එළි පෙහෙළි කිරීම හේතුවෙන් හා යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය තුළ මහ පරිමාණයෙන් සිදු වන සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් අවතැන් වී ඇත්තේ අලි – ඇතුන් පමණක් නොවේ. ගව පාලනයේ නිරත පුද්ගලයින් ගේ එළ හා මී ගවයින් 30000 ක ට වැඩි ප‍්‍රමාණයකගේ ආහාර බිම් අහිමි වී ඇත. මේ නිසා මෙම සතුන් ව මාදුරුඔය, ගල් ඔය, කොටියාගල, සියඹලාණ්ඩුව, අම්පාර, පදියතලාව ආදී ප‍්‍රදේශ වල රක්ෂිත වනාන්තර වලට යොමු කර තිබේ. මේ නිසා ද තවත් ආකාරයක ගැටුම් වර්ධනය වී තිබේ.

ජාතික පාරිසරික පනත උල්ලංඝනය කිරීම 1980 අංක 47 දරන සංශෝධිත ජාතික පාරිසරික පනතට අනුව ප‍්‍රකාශිත 1993 ජුනි 24 වන දින අංක 772/22 දරන ගැසට් නිවේදනයට අනුව අක්කර 2.39.5 කට වඩා විශාල වනාන්තරයක් එළි කර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා යොදා ගැනීමට ප‍්‍රථමයෙන් පරිසර බලපෑම් ඇගයීම් ක‍්‍රියාවලියට යටත් ව ඒ සදහා පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගත යුතු ය. නමුත් යෝජිත හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතය තුළ මහවැලි අධිකාරියේ මැදිහත් වීමෙන් සිදු කෙරෙන සියලූ සංවර්ධන කටයුතු මේ නීතිමය තත්ත්වය උල්ලංඝනය කරමින් සිදු කෙරේ. නමුත් මේ කිසිදු කි‍්‍රයාවකට එරෙහි ව මධ්‍යම පරිසර අධිකාරිය කිසිදු කි‍්‍රයාමාර්ගයක් ගෙන නොමැති වීම කනගාටුවට කරුණකි. 2006 වසරේ දී ප‍්‍රකාශයට පත් කළ “වන අලි සංරක්ෂණය හා කළමනාකරණ ජාතික ප‍්‍රතිපත්තියට” අනුව අලි කළමනාකරණ රක්ෂිත ප‍්‍රකාශයට පත් කිරීම තුළින් අලි – ඇතුන් ස්ථානීයව සංරක්ෂණය කිරීම පිළිබද ව ප‍්‍රධාන අවධානය යොමු කර තිබේ. ඒ සදහා එම සතුන් ගේ වාසස්ථාන ආරක්ෂිත ප‍්‍රදේශ ලෙස ප‍්‍රකාශයට පත් කළ යුතු ය.

ඒ අනුව යෝජිත හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතය කඩිනමින් ප‍්‍රකාශයට පත් කළ හැකි ය. නමුත් තවමත් ඒ සදහා නිසි යොමුවක් ලබා දී නොමැත. මෙවර ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජනතාවට ඉදිරිපත් කළ “ගෝඨාභය රට හදන සෞභාග්‍යයේ දැක්ම” ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ “තිරසර පරිසර ප‍්‍රතිපත්තියක්” කොටසෙ හි “ශී‍්‍ර ලංකාවේ භූමිය භාවිතා කළ යුත්තේ ජනතාවගේ යහ පැවැත්ම සදහා ය. මිනිසා මෙන් ම අනෙක් සත්ත්වයින්ට භූමියට ඇති අයිතිය සුරක්ෂිත කරන භාරකාරයකු ලෙස රජය කි‍්‍රයා කළ යුතු ය.’’ යනුවෙන් සදහන් වන අතර ලංකාවේ ‘වන ආවරණය’ සියයට 30 දක්වා වර්ධනය කරන බව ද සදහන් කර ඇත.

නමුත් ඒ සදහා කිසිදු ප‍්‍රවේශයක් මේ දක්වා ගෙන නොමැති වත්මන් ආණ්ඩුව පසුගිය ආණ්ඩුව මෙන්ම අලි මිනිස් ගැටුම වර්ධනය වන කි‍්‍රයාමාර්ග රැුසක් ගනිමින් සිටී. ඒ අතර යෝජිත හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතය ප‍්‍රකාශයට පත් නොකර එම වනාන්තර බිම් සංවර්ධනයට, වාණිජ වගාවන් ව්‍යප්ත කිරීමට හා ජනාවාස ව්‍යාප්ත කිරීමට යොදා ගන්නා අතර තවත් විශාල භූමි ප‍්‍රදේශයක් චීන සමාගම් වලට කර්මාන්ත ස්ථාපිත කිරීමට ලබා දීමට සූදානම් වේ.

ආණ්ඩු බලය හිමි කණ්ඩායම් මෙලෙස ගන්නා වැරදි තීන්දු තීරණ හේතුවෙන් අසරණ වන්නේ සුළු ගොවීන් හා අලි – ඇත් පරපුරයි. අවසානයේ දී මේ කණ්ඩායම් දෙක දැවැන්ත ගැටුමකට මුහුණ දී දුබලයා පරාජයට පත් වන අතර වගා බිම් ද විනාශ වී යයි. නමුත් කිසිදු අවස්ථාවක ගොවීන් මෙම හානිකර සැලැසුම් වලට එරෙහිව කි‍්‍රයාත්මක නොවේ. කි‍්‍රයාත්මක වන්නේ තම වගා බිමට පැමිණෙන අලි – ඇතුන් මරා දැමීමට පමණි.

රක්ෂිතය ප‍්‍රකාශයට පත් කිරීමෙන් අත්වන වෙනත් ප‍්‍රතිලාභ

යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය මගින් රක්ෂිත ප‍්‍රදේශ කිහිපයක් ජාලගත කිරීම සිදු වන අතර ම ජල පෝෂක බිම් කිහිපයක් ම සුරක්ෂිත කෙරේ. මේ තුළින් පිහිටි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වනාන්තර ප‍්‍රදේශ තුළ වැව් 25 ක් පමණ පිහිටා තිබේ. මැටිගත් වැව, ස්වර්ණමාලී වැව, ලෝලූගස්වෑකඩ වැව, කැලිගම වැව, පරෙන්ගි වැව, වීරසිංහ වැව, ඩෝසර්වත්ත වැව, තම්මැන්න වැව, බදගිරිය වැව, කඩවර වැව, උඩමත්තල වැව, ඔරුකැන්ගල වැව, පන් වැව, කටු වැව, ලූණුවැරනිය වැව, රන්මුදු වැව, මහ අලූත්ගංආර වැව,මහ වැව, මහ ගල් වැව, කුඩා වැව, ගලපිට වැව, රතු කුරුස වැව, දක්ෂිණ වැව, සේරුංකෙළ වැව හා අලූත් වැව ඒ අතර වේ. මේ අතුරින් බදගිරිය වැව විශාලත ම වැව වේ.

මීට අමතර ව යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයේ මහවැලි අධිකාරියට අයත් වනාන්තර ප‍්‍රදේශ තුළ වැව් 17 ක් පමණ පිහිටා තිබේ. එනම් කිකිළි ඉද්ද වැව, ගල් වැව, දිවුල්පැලැස්ස වැව, ඉළුක්පැලැස්ස වැව, කැටැන් වැව, ගලහිටිය වැව, තේක්ක වැව, හාමුදුරු වැව, අන්දර වැව, හැඩිල්ල වැව, පහළ අන්දර වැව, කරමැටිය වැව හා මුත්තගල්ආර වැව යි. මේ සියල්ලේ ම ජල සුරක්ෂිතතාව හා කෘෂිකර්මාන්තයේ සුරක්ෂිතතාව ඇති කිරීම සදහා මෙම රක්ෂිතය ප‍්‍රකාශයට පත් කිරීම ඉතා ම වැදගත් වේ.

යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය අලි – ඇතුන්ගේ නිජබිමක් පමණක් නොවේ. එය සුවිශේෂී පරිසර පද්ධති ගණනාවකින් සමන්විත ය. වියළි මිශ‍්‍ර සදාහරිත වනාන්තර, කටු පදුරු සහිත ලදු කැලෑ, වැව් ඇතුළු තෙත් බිම් පද්ධති මේ තුළ එකට පිහිටා තිබේ. මේ සියලූ පරිසර පද්ධති වල 450 ක් පමණ වන අලි ගහනයක් හා විශාල ජෛව ප‍්‍රජාවක් වාර්තා වේ. තෙත් බිම් ආශි‍්‍රත නේවාසික පක්ෂීන් බහුතරයකගේ වාසස්ථාන වන මෙම ප‍්‍රදේශය සංක‍්‍රමණික තෙත් බිම් පක්ෂීන්ගේ ද ප‍්‍රධාන ගොදුරු බිමකි. මීට අමතර ව මෙම ප‍්‍රදේශය තුළ පුරා විද්‍යාත්මකව වටිනා ස්ථාන බොහොමයක් පිහිටා තිබේ.

අලි කළමනාකරණ රක්ෂිතය කඩිනමින් ප‍්‍රකාශයට පත් කළ යුතු ය

මේ නිසා අප විශේෂයෙන් මෙසේ අවධාරණය කර සිටිමු. යෝජිත හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය කඩිනමින් ප‍්‍රකාශයට පත් කර හම්බන්තොට අක‍්‍රමවත් සංවර්ධනය හේතුවෙන් අවතැන් වී ඇති අලි – ඇතුන් ගේ රැකවරණය තහවුරු කරණ ලෙස ය. එසේ නොමැති වුවහොත් රජයේ අක‍්‍රමවත් ඉඩම් බෙදා දීමේ කි‍්‍රයාවලිය හේතුවෙන් දරුණු විනාශයක් හම්බන්තොට ප‍්‍රදේශයේ අලි – ඇතුන් ඇතුළු ජෛව ප‍්‍රජාවට හා සාමාන්‍ය ජනතාවට සිදු විය හැකි ය.

එපමණක් නොව හම්බන්තොට ස්වාභාවික සම්පත්, වනාන්තර හා අලි – ඇතුන්ගේ ගැවසුම් ප‍්‍රදේශ හුදකලා කිරීමට හා ඛණ්ඩනය කිරීමට හේතුවන අහිතකර සංවර්ධන සැලසුම් සකස් කිරීම නතර කකඑත යුතු ය. විශේෂයෙන් චීන කර්මාන්ත පුරයක් ඇති කිරීම සදහා දරනට මැනීම් කර ඇති අලි – ඇතුන්ගේ වාසස්ථාන ලෙස පවතින වනාන්තර අක්කර 15000 ක් ලබා දීමේ කි‍්‍රයාවලිය ද සම්පූර්ණයෙන් ම නතර කළ යුතු ය. ඉදිරි සංවර්ධන කටයුතු ක‍්‍රියාත්මක කිරීමට ප‍්‍රථමයෙන් හම්බන්තොට දැනට සිදු කර ඇති සංවර්ධන කටයුතු වලට අදාළ ව නිසි ඇගයීමක් සිදු කර හුදකලා වී ඇති හා ඛණ්ඩනය වී ඇති වනාන්තර හා ස්වාභාවික පරිසර පද්ධති ඒකාබද්ධ කිරීම තුළින් අලි – ඇතුන් ඇතුළු ව සියලූ ජෛව ප‍්‍රජාවගේ රැකවරණය හා කෘෂිකාර්මික ජල සුරක්ෂිතතාව තහවුරු කර ගොවි ජනතාවගේ රැුකවරණය සුරක්ෂිත කළ යුතු ය. එපමණක් නොව ඉදිරි සංවර්ධන සැලැසුම් සියල්ල ප‍්‍රදේශයේ ජනතාවගේ අවශ්‍යතාවන් මත අනාගත පරපුරේ පැවැත්ම තහවුරු වන ආකාරයෙන් නිවැරදි ආර්ථික සංවර්ධන උපායමාර්ග මත මානව හා ස්වාභාවික සම්පත් නිසි කළමනාකරණයකින් යුතු ව සිදු කළ යුතු ය.

ඒ සදහා උපායමාර්ගික සංවර්ධන ප‍්‍රවේශයක් සදහා සමස්තය ආවරණය වන පරිදි නිවැරදි පරිසර බලපෑම් ඇගැයීමක් සිදු කළ යුතු ය. එසේ නොවුනහොත් මාගම්පුර වරාය හා මත්තල ගුවන්තොටුපොළ මෙන් සිදු කළ සංවර්ධන ව්‍යාපෘති වලින් රටට ප‍්‍රතිලාභ අත් වනවා වෙනුවට ඒවා පවත්වාගෙන යාම රටට බරක් වී ඒ සියල්ල විදේශීය සමාගම් වලට දීර්ඝ කාලීනව බදු දීමට සිදු වනු ඇත.”

Rivira Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top