,
Covid-19

පොත් ප්‍රදර්ශනය පැවැත්වීම ගැන සෞඛ්‍ය අංශ කනස්සල්ලෙන්, මාර්ගෝපදේශ අනුගමනය නොකළොත් නීතිමය පියවර ගන්නා බව කියයි

(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 16 පස්වරු 08.32ට)

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පවත්වන්නේ නම් සෞඛ්‍ය අංශ විසින් ලබාදුන් මාර්ගෝපදේශ දැඩිව අනුගමනය කිරීම සංවිධායකයින්ගේත්, පැමිණෙන මහ ජනතාවගේත් වගකීමක් වන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර අවධාරණය කරයි.

යම් හෙයකින් ලබා දී ඇති මාර්ගෝපදේශ අනුගමනය නොකරන්නේ නම් අවශ්‍ය අවස්ථාවල නෛතික පියවර ගැනීමට සෞඛ්‍ය අංශ පසුබට නොවන බව ද සැප්තැම්බර් 15 දින පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළා.

කොවිඩ් -19 අවදානම පහව ගොස් නැති පසුබිමක දහස් ගණන් ජනතාව එක් රැස් කරන කටයුතු සංවිධාන කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂවරයා ලෙස තමන්ගේ මනාපයක් නොමැති බව විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර කියා සිටියා.

මේ වනවිට බොහෝ දෙනෙකුට කොවිඩ් -19 අමතකවී තිබෙන බවත් එය රටක් වශයෙන් ගැටළු සහගත තත්වයක් ඇති කරන හැසිරීමක් බවත් ඔහු සඳහන් කළා. කොවිඩ් -19 අවදානම තවමත් ශ්‍රී ලංකාවෙන් හෝ ලෝකයෙන් පහව ගොස් නොමැති වීම හේතුවෙන් කොවිඩ් -19 ව්‍යාප්තිය පාලනය හා නිවාරණය පිලිබදව නිවැරදි තොරතුරු නිරන්තරයෙන් යාවත්කාලීන කිරීමට සතිපතා විශේෂ ප්‍රවත්ති සාකච්ජාවක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ප්‍රදර්ශන භුමියට ඇතුලු වන සියලු දෙනා නිවැරදිව මුව ආවරණ පැලදීම, දෑත් සබන් යොදා සෝදා ගැනීම, මීටරයක පුද්ගල (සමාජ) දුරස්ථබව පවත්වා ගැනීම අනිවාර්‍ය වෙයි. දිවයිනේ දස දෙසින් මහ ජනතාව ප්‍රදර්ශන භුමියට පැමිණෙන බැවින් මේ අතර ආසාදිතයෙකු නොදැන හෝ ජනතාව අතර සිටියහොත් එහිදී සිදුවන සුළු අතපසුවීමක් පවා ශ්‍රී ලංකාව පුරා කොවිඩ් -19 පැතිරීමට හේතුවිය හැකි බවද ඔහු අනතුරු අඟවා සිටී.

කෙසේ වෙතත්, ප්‍රදර්ශන භුමියට නොපැමිණ, එහිදී ලබාදෙන වට්ටම් සහිතව පොත් හල් වලින් අවශ්‍ය පොත් ලබාගැනීමට හැකිනම් එය ඉතාම කාලෝචිත සෞඛ්‍යාරක්ෂිත පියවර වන බවද වෛද්‍ය සුදත් සමරවීර පෙන්වාදෙයි. ඒ පිළිබඳ අවධානය යොමු කරන මෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සමස්ත මහ ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.

කෙසේ වෙතත් මේ දක්වා ශ්‍රී ලංකාවේ කොවිඩ් -19 ව්‍යාප්තිය සාර්ථක ලෙස පාලනය කිරීමට හැකිවූයේ මහජනතාව ලබාදුන් අනගි සහාය නිසා බවද විශේෂඥ වෛද්‍යවරයා සිහිපත් කළේ ය.

Rivira Ads
1 Comment

1 Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top