දේශීය පුවත්

සඳුදා සිට මං තීරු නීතිය යටතේ වැරදි 14කට රු.2000ක දඩයක්

(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 17 පෙරවරු 11.48ට)

කොළඹ නගරයේ අධික රථවාහන තදබදයට විසඳුමක් ලෙස මංතීරු නීතිය යළි බලාත්මක කිරීමට පොලීසිය තීරණය කළා.

ඒ අනුව මෙම සතිය ඊට පෙරහුරුවක් ලෙස යොදා ගත් අතර දින 3ක් ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ විශේෂ වැඩ පිළිවෙලක් ද ක්‍රියාත්මක කෙරුණි.

මේ අනුව සැප්තැම්බර් 17 සහ 18 යන දෙදින නියමු ව්‍යාපෘතියක් ලෙස යොදාගෙන ඇති අතර එම දින දෙක තුළ ද නීතිය ක්‍රියාත්මක කිරීමකින් තොරව අවවාද කර මුදා හැරීමට නියමිතයි.

ඉන්පසු සැප්තැම්බර් 21 දින සිට මං තීරු නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි. ඒ අනුව එම නීතිය කඩකරන රියදුරන්ට එරෙහිව රුපියල් 2,000ක දඩයක් පැනවීම සිදු කෙරෙන බව විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් පොලීසිය සඳහන් කළා.

ශ්‍රී ජයවර්ධනපුර මාවත, බේස් ලයින් පාර, හයිලෙවල් හා ගාලු පාර යන මාර්ග හතර ඉලක්ක කර මෙම මං තීරු නීතිය මූලිකව ක්‍රියාත්මක වේ.

එහිදී තනි ඉර කපා වාහන ඉස්සර කිරීම, ද්විත්ව ඉරි කපා වාහන හැරවීම ඇතුළු මංතීරු නීතියට අයත් වැරදි 14කට එරෙහිව නීතිය ක්‍රියාත්මක කෙරෙන අතර ඒ සඳහා රුපියල් 2000 ක දඩයක් පැනවෙයි. මූලිකව සීසිටීවී හා ඩ්‍රෝන යානා මගින් ලබා ගන්නා දර්ශන ද සාක්ෂි වශයෙන් ඉදිරිපත් කිරීමට නියමිතයි. එබැවින් යමෙක් දඩය ප්‍රතික්ෂේප කර නඩු මාර්ගයට පිවිසෙන්නේ නම් එම සාක්ෂි ද ඉදිරිපත් කරන බව පොලීසිය පවසයි.

මුල් අදියර යටතේ සෑම සතියේ දිනකම පෙරවරු 6 සිට 9 දක්වාත්, පස්වරු 4 සිට 7 දක්වාත් මං තිරු නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලීසිය කියයි.

මීට අමතරව මං තීරු නීතිය ක්‍රියාත්මක කෙරෙන මාර්ගවල වම් පස කෙළවරේම මං තීරුව ප්‍රමුඛතා මං තීරුවක් ලෙස නම් කර ඇති අතර බස්, ත්‍රිරෝද රථ හා යතුරු පැදි එම මංතීරුවේ ධාවනය කිරීම අනිවාර්ය බව පොලීසිය පවසයි.

Rivira FB Group Rivira Youtube
To Top