RIVIRA.LK, 2020 සැප්තැම්බර් 17 පස්වරු 07.06ට)
2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරය පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව වෙත සාක්ෂි ලබා දීම සඳහා පැමිණියේ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු වන අතර එහි දී කොමිසම වෙත රජයේ නීතිඥවරුන් දැනුම් දී ඇත්තේ හිටපු ඇමති හරින් ප්‍රනාන්දුගේ පියා ප‍්‍රහාරයට පෙර අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ පොලිස් නිලධාරියෙකු සමඟ දුරකථන සංවාදයක් පවත්වා ඇති බව අනාවරණය වී ඇති බවයි.
ඒ අනුව ප්‍රහාරය සිදුවීමට පෙර දින එනම් 2019 අප්‍රේල් 20 දින හරීන් ප්‍රනාන්දුගේ පියා සිය පුද්ගලික ජංගම දුරකථනයෙන් සීඅයිඩී නිලධාරි නන්දලාල් නැමැත්තෙකු සමඟ තත්පර 356ක් කතා කර ඇති බව ජනාධිපති කොමිසම වෙත දැනුම් දී තිබෙනවා.
ප්‍රහාරයෙන් පසුව මාධ්‍ය හමුවක් පවත්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු
සඳහන් කළේ එවැනි ප්‍රහාරයක් එල්ල වීමේ තර්ජනයක් හේතුවෙන් පාස්කු ඉරුදින පල්ලි නොයන ලෙස තම පියා අනතුරු අඟවා තිබූ බවයි.
පසුව ඔහු සඳහන් කර තිබුණේ එම තොරතුරු තමන් වෙත ප්‍රකාශ කළේ තම සහෝදරිය විසින් බවයි. කෙසේ වෙතත් හරීන් ප්‍රනාන්දු කියා සිටියේ ප්‍රහාර සම්බන්ධයෙන් රජයට පූර්ව තොරතුරු ලැබී තිබූ බවයි.
ඒ සම්බන්ධයෙන් සාක්ෂි විමසීම සඳහා කොමිසමට කැඳවූ මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ එම ප්‍රකාශය විවිධ මාධ්‍ය විසින් ප්‍රචාරය කළේ තමන්ව ඉලක්ක කර පහර දීමට බවයි.
එවිට කොමිසම මන්ත්‍රීවරයාගෙන් විමසා සිටියේ මාධ්‍ය විසින් අදාළ ප්‍රකාශය විකෘති කර විකාශය කළේ ද යන්නයි. ඊට ප්‍රතිචාර දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ විකෘති නොකළත් විනාඩි 45 පමණ වේලාවක් ගෙන තමන් කළ ප්‍රකාශයෙන් අදාළ කරුණ පමණක් විකාශය කළ බව ඔහු සඳහන් කළා.
මෙහිදී අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් කළ ප්‍රකාශයක් වූ “අපේ මිනිස්සු මැරුණා, ඇමති පුතා බේරුණා” යනුවෙන් කළ ප්‍රකාශය හරහා තමන්ට අගතියක් සිදුවූ බව සඳහන් කළා. එසේම මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් බොහෝ පාර්ශව දැන සිටි පසුබිමක පල්ලි පමණක් එය නොදැන සිටි බව තමන් විශ්වාස නොකරන බව මන්ත්‍රීවරයා සඳහන් කළා.
ඒ අනුව මෙරට කතෝලික සභාවේ නායකයා සම්ප්‍රදායිකව සෑම වසරකම පාස්කු ඉරුදින පෙරවරුවේ දිව්‍ය පූජාවක් පවත්වන බවත් 2019 වසරේ පාස්කු ඉරුදින පමණක් කාදිනල් හිමියන් පූජාවක් නොපැවැත්වීම ප්‍රහාරය ගැන පෙර දැනුවත් වීමක් තිබූ බැවින් සිදු වූවාදැයි යන්න විමර්ශනය කළ යුතු බව සඳහන් කර තිබෙනවා.
ඊට ප්‍රතිචාර දක්වමින් කාදිනල් හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශමිල් ප්‍රනාන්දු පවසා සිටියේ අගරදගුරු හිමියන් සෑම වසරකම පාස්කු ඉරුදින පූජාව සිදුකරන්නේ පෙරදින එනම් සෙනසුරාදා මධ්‍යම රාත්‍රියේ බවයි. ඒ අනුව ඔහු විමසා සිටියේ එම වර්ෂයේ ද අප්‍රේල් 20 සෙනසුරාදා රාත්‍රියේ කොටහේන ශාන්ත ලුසියා දේවස්ථානයේ එම දිව්‍ය පූජාව සිදුකළ බව යෝජනා කළොත් හරීන් මන්ත්‍රීවරයා එය පිළිගන්නේ ද? යනුවෙනි.
ඉන්පසු මන්ත්‍රීවරයා පවසා සිටියේ තමන් එවැන්නක් නොදන්නා බව හා එය මනසට ආ පමණින් කළ පදනම් විරහිත හුදු ප්‍රකාශයක් පමණක් බව යි.
ඉන්පසු හරීන් ප්‍රනාන්දුගේ ඥාති පුත්‍රයෙකු පිළිබඳ කාදිනල් හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා විමසීමේ දී මන්ත්‍රීවරයා ආවේගශීලීව හැසීරීම හේතුවෙන් කොමිසමේ සභාපතිවරයා විනිසුරුවරයා මන්ත්‍රීවරයාට දැඩි ලෙස අවවාද කරනු ලැබුවා.

