දේශීය පුවත්

‘Ceylon Tea’ නාමයට හානි වීමට ඉඩ නොතබන්න

(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 18 පස්වරු 05.46ට)

දීර්ඝ කාලයක සිට ලොව සියලු රටවල් අතර ඉමහත් ආකර්ශණයට ලක්ව ඇති ‘සිලෝන් ටී’ ‘Ceylon Tea’ නාමයට හානි වීමට ඉඩ නොදෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තේ කර්මාන්තශාලා හිමියන්ගෙන් ඉල්ලීමක් සිදු කර තිබෙනවා.

එමෙන්ම, රටේ කීර්තිනාමයට මෙන්ම ලෝක වෙළඳපොළේ Ceylon Tea සඳහා ඇති ඉල්ලුමට හානියක් වීමට මින් ඉදිරියට කිසිසේත් ඉඩ දිය නොහැකි බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.

එසේම, සීනි, ග්ලූකෝස් වර්ග සහ සෝඩියම් බයිකාබනේට්, පෙරස් සල්පේට් වැනි දුව්‍ය මිශ්‍රණයන් කෙරෙන තේ නිෂ්පාදන ගැන මෑතක සිට මාධ්‍ය මඟින් වාර්තා වනවා. එවැනි තේ ලෝක වෙළඳපොලේ දී ප්‍රතික්ෂේප වීමෙන් තේ කර්මාන්තය දැවැන්ත පසුබැසීමකට ගොදුරු වී තිබෙනවා.

එබැවින්, ගම්මිරිස් වෙළඳපොලට සිදු වූ හානියට තේ කර්මාන්තයත් ගොදුරු වීමට ඉඩ නොතබන බව ජනාධිපතිතුමා තරයේ කියා සිටියි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ, ගුණාත්මක තේ නිෂ්පාදනය පිළිබඳව සුළු හා මධ්‍ය පරිමාණ තේ කම්හල් හිමියන් සහ අපනයනකරුවන් සමඟ සැප්තැම්බර් 18 දහවල් ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාවේ දී ය.

ලෝක වෙළඳපොලේ තේ සඳහා ඉල්ලුම 65% සිට 45% දක්වා පහළ වැටිමට තේ නිෂ්පාදනයේ ගුණාත්මක පරිහානිය බලපා තිබෙන බවත් මෙරට තේ කර්මාන්තශාලා සංඛ්‍යාව 705කි. කර්මාන්තශාලා 45කින් අයථා ක්‍රියාකාරකම් වාර්තා වී ඇති අතර පරීක්ෂණවලින් 18ක නිෂ්පාදන නතර කළ බව තේ මණ්ඩලයේ සභාපති ජයම්පති මොල්ලිගොඩ එහිදී සඳහන් කර තිබෙනවා.

කසළ තේ සහ අහිතකර රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් තේ නිෂ්පාදනය කරන ආයතන වැටලීම බුද්ධි අංශ තොරතුරු මත පොලිස් විශේෂ කාර්ය බාලකාය සහ පොලීසිය මඟින් සිදු කෙරේ.

රටට ලැබෙන ආදායමට හෝ තේ කර්මාන්තයට හෝ බාල තේ නිෂ්පාදනයෙන් බාධාවක් වීමට ඉඩ නොතැබිය යුතුය. ඉහළ ගුණාත්මක බවින් යුතු තේ ලෝක වෙළඳපොලට සැපයීමට තේ කර්මාන්තශාලා හිමියන් මෙන්ම අපනයනකරුවන් වගබලාගත යුතු බවත් බාල තේ නිෂ්පාදනයට ඉඩ නොදෙන අතර එය නොතකා ක්‍රියා කරන කර්මාන්තශාලා වසා දමන්නැයි ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේ ය.

ඒ සඳහා, බුද්ධි අංශයේ සහය ඇතිව අඛණ්ඩව පරීක්ෂණ කර මෙවැනි ආයතන වැටලීම් කරන ලෙස ද ජනාධිපතිතුමා පොලිස්පතිවරයාට නියෝග කළේ ය.

රාජ්‍ය අමාත්‍ය කනක හේරත්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, කැබිනට් හා රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරු, වැඩබලන පොලිස්පති, බුද්ධි අංශ ප්‍රධානීන් ඇතුළු නිලධාරීහු සහ තේ කර්මාන්තශාලා හිමියෝ සහ අපනයනකරුවෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

Rivira FB Group Rivira Youtube
To Top