,
News

2023 වන විට ස්වාභාවික වායු බලාගාර දෙකක් ඉදිකිරීමට පියවර

(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 19 පස්වරු 2.09ට)

2023 වසර වන විට විදුලි අර්බුදයට පිළියම් වශයෙන් ස්වාභාවික වායු (එල්.එන්.ජී) බලාගාර දෙකක් ඉදිකිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සඳහන් කරයි.

එමෙන්ම, මෙම ව්‍යාපෘතීන් පිළිබඳව 2007 වසරේ සිට සාකච්ඡා කළ නමුදු වසර 13ක් ගත වී ඇතත් තවමත් එක් බලාගාරයක් හෝ ඉදිකිරිමට නොහැකි වී ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළා. වසරකට ශ්‍රී ලංකාවේ විදුලි ඉල්ලුම සියයට කින් වර්ධනය වන බවත් පසුගිය පැවති රජයේ 2015 – 2019 දක්වා වසර 05 ක කාලයේදී ජාතික විදුලිබල පද්ධතියට අලුතින් එක්කර ඇත්තේ මෙගාවොට් 300 ක් පමණක් බවත් සඳහන් කළේ ය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, පෞද්ගලික විදුලි සමාගම් කිහිපයක නිරීක්‍ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ මෙම අදහස් පළ කරමින්ය.

එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ” සාමාන්‍යයෙන් රාජ්‍ය ආයතන පිළිබඳව තියෙන ජනප්‍රිය මතය තමයි මේක පුරවැසියන්ට මහා බරක්. භාණ්ඩාගාරයට මහා බරක් කියලා තමයි කියන්නේ.

අපි ආපු එකඟතාවයක් තමයි 2030 වන විට මේ රටේ විදුලිය ජනනය කිරීමේ දී ඉන් සියයට 50ක් පුනර්ජනනීය විදුලිය වෙන්නට ඕනේ කියන එක. විශේෂයෙන්ම තව අවුරුදු 5ක් ඇතුළත ඩීසල් වලින් ජනනය වන විදුලිය ප්‍රතිශතය දැන් සියයට 32ක තියෙන එක සියයට 5ක් දක්වා අඩු කරගන්නට ඕනේ කියන එකයි අපේ ඉලක්කය. විශාල මුදලක් අපි නාස්ති කරන්නේ අපේ ජනන පද්ධතීන් ඇතුළේ ඩීසල් වලින් විදුලිය ජනනය කිරීමේ නොයෙකුත් ව්‍යාපෘති වෙනුවෙන්.

ඒ නිසා අපිට රටට දෙන්න පුළුවන් සහතිකය, රටට හදනවා වසර 20ක් සඳහා වූ ජනන සැලැස්මක්. මේ අවුරුදු 5කට ආසන්න කාල සීමාව තුළ දී මේ රටේ විදුලි පද්ධතියට එකතුවෙලා තියෙන්නේ මෙගා වොට් 300ක් පමණයි. ඇයි එහෙම වෙලා තියෙන්නේ. අර ජනන සැලැස්ම ක්‍රියාත්මක කරන්නේ නැතිව ඇතැම් විට දේශපාලඥයන් තීන්දු අරගෙන තියෙනවා තමන්ගේ සැලැස්මවල් ඒ වෙනුවට ගලපලා” යනුවෙන් පැවසුවා.

තවද, ජනාධිපතිතුමාගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව යමින් ඉදිරියේදී ඇතිවිය හැකි විදුලි අර්බුධයට මුහුණදීම සඳහා 2030 වසර වනවිට මෙරට විදුලි බල පද්ධතියට හරිත හා පුනර්ජනනීය බලශක්ති දායකත්වය සියයට 70 දක්වා වර්ධනය කළයුතු බව ද ඇමතිවරයා කීවේය.

Rivira Ads
To Top