දේශීය පුවත්

රනිල්,මංගල, මලික් ජනාධිපති කොමිසම හමුවට

(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 19 පස්වරු 04.17ට)

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, මංගල සමරවීර,අනුර කුමාර දිසානායක, එම්.ඒ.සුමන්තිරන් යන ඇතුළු දේශපාලනඥයින් පිරිසක් සැප්තැම්බර් 19 වන දින දේශපාලන පළිගැනීම් පිළිබඳ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වෙත පැමිණියහ. ඔවුන් සියලුදෙනාට එදින පෙරවරු 10ට කොමිසම හමුවේ පෙනී සිටින ලෙස ලබා දී තිබූ දැනුම් දීමට අනුව ඔවුන් කොමිසම හමුවට පැමිණියහ.

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පෙරවරු 10 ට පමණ දේශපාලන පළිගැනීම් පිළිබඳ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වෙත පැමිණියේය. එමෙන්ම යහපාලන රජයේ පැවති දූෂණ විරෝධී කමිටුවේ සාමාජිකයින් වන මංගල සමරවීර, පාඨලී චම්පික රණවක, මලික් සමරවික්‍රම, අනුර කුමාර දිසානායක සහ එම්.ඒ. සුමන්තිරන් යන මහත්වරුන් ද සැප්තැම්බර් 19 වන දින පෙරවරුවේ ජනපති කොමිසම හමුවේ පෙනී සිටි බව වාර්තා වේ.

එමෙන්ම, මීට අමතරව සැප්තැම්බර් 19 වන දිනය තුළදී රාවුෆ් හකීම්, ආර්. සම්බන්ධන් සහ සරත් ෆොන්සේකා යන අය ද ජනපති කොමිසම හමුවේ පෙනී සිටිමට නියමිතය. දිවි නැගුම හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලකට අදාළ ව වගඋත්තරකරුවන් ලෙස නම්කළ ඔවුන්ට එසේ කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබුණි.

උදෑසන 11.30ට පමණ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, එම්.ඒ. සුමන්තිරන් මහතා හා අනුර කුමාර දිසානායක ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව කොමිසමෙන් පිටව ගොස් ඇත.

මේ අතර, රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග ද දේශපාලන පලිගැනීම් පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටීමට සැප්තැම්බර් 19 වන දින පෙරවරුවේ එහි පැමිණියේය. ඔහු කොමිසම හමුවේ පෙනී සිටියේ, නීත්‍යානුකූල ආකාරයෙන් ගෙන්වන ලද කන්ටේනර් රථයක් නීතිවිරෝධීව රේගුව තුළ රඳවා ගනිමින් නඩු පැවරීමෙන් තමන් දේශපාලන පලිගැනීමට ලක්වූ බව පවසා සිදුකළ පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ය.

Rivira FB Group Rivira Youtube
To Top