(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 19 පස්වරු 06.45)
කොවිඩ් -19 වෛරසය වැළඳී සුවය ලබා නිවසේ ස්වයං නිරෝධායනය වෙමින් සිටි හලාවත ආරච්චිකට්ටුව ප්‍රදේශයේ 23 හැවිරිදි තරුණයෙක්ට යළිත් කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව වාර්තා වේ.
පසුගිය අගෝස්තු මස 16 වනදා ඩුබායි සිට මෙරටට පැමිණි මෙම තරුණයා පී.සී.ආර්. පරීක්ෂණයකට ලක් කර ඇති අතර එහිදී ඔහුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමෙන් පසු ප‍්‍රතිිකාර සදහා වැලිකන්ද රෝහලට ඇතුළත් කර තිබෙනවා. එහිදී ප‍්‍රතිකාර කිරීමෙන් අනතුරුව පී සී ආර් පරීක්‍ෂණ 3 ක් සිදුකර ඇති අතර තුන් වන පරීක්ෂණයේදී ඔහු කොරෝනා වෛසරය ආසාදිතයයෙකු නොවන බවට තහවුරු වී ඇත.
ඒ අනුව, සැප්තැම්බර් මස 8 වනදා ඔහු රෝහලෙන් පිටව ගොස් ඇති අතර දින 14 ක කාලයක් නිවසේ ස්වයං නිරෝධායනය වෙමින් සිටිය දී මෙලෙස යළිත් වරක් වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇති බව හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල ප්‍රදීප් මල්ලවආරච්චි පවසයි.
හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් සැප්තැම්බර් 17 වනදා ඔහු හලාවත මහ රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී සිදුකළ පී.සී.ආර්.පරීක්ෂණයකදී ඔහුට වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වී තිබේ.
ස්වයං නිරෝධායනය වෙමින් සිටි කාලයේ ඔහුගේ මව ද නිවසේ රැදී සිට ඇති අතර
ඒ හේතුවෙන් ආසාදිතයාගේ මව ද කඩිනමින් හලාවත මහ රෝහලට ඇතුළත් කර පී.සී.ආර්.පරීක්ෂණයකට යොමු කිරීමට නියමිත බව වාර්තා වේ.
මේ වන විට, මහජනතාව කොවිඩ් – 19 වසංගත තත්ත්වය පිළිබඳව බැරෑරුම් ලෙස නොසිතන බවක් මෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද මාර්ගෝපදේශන ද නිසි අයුරින් ක්‍රියාත්මක නොකරන තත්ත්වයක් ද පෙනෙන්නට ඇත. බොහෝ දෙනා මුඛ ආවරණ නොපැළඳීම, පුද්ගල දුරස්ථභාවය තබා නොගෙන කටයුතු කිරීම දිගින් දිගට සමාජය තුළ දක්නට ලැබෙයි.
මේ තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමයෙ සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කළේ, ජනතාව නිසි අයුරින් සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක නොකරන්නේ නම් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවයි.

