(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 20 පෙරවරු 11.08)
මහනුවර, බූවැලිකඩ ප්‍රදේශයේ ගොඩනැගිල්ලක් ගිලා බැසීම හේතුවෙන් අසල නිවසක සිරව සිටි අය අතුරින් බේරාගෙන රෝහල් ගත කළ මාස එකහමාරක් වයසැති බිළිඳා ජීවිතක්ෂයට පත්ව ඇති බව මහනුවර රෝහල් අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කරනවා. බිළිඳා රෝහල් ගත කරන විටත් මිය ගොස් සිටි බව මහනුවර මහ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ආර් එම් එස් කේ රත්නායක වැඩිදුරටත් පවසයි.
සැප්තැම්බර් 20 වන දින අලුයම ගිලා බැස තිබූ ගොඩනැගිල්ල අසල නිවසක සිටි පස්දෙනෙකු මෙම ගොඩනැගිල්ලේ සුන් බුන් අතර සිර වී සිටි අතර මෙම බිළිඳා සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකු සහන කණ්ඩායම් මඟින් සොයා ගැනීමට හැකිව තිබුණා.
මේ අතර සුන්බුන් අතර සිරවී සිටිතැයි සැළකෙන එම බිළිඳාගේ දෙමව්පියන් වන අනෙක් පුද්ගලයින් දෙදෙනා සොයා මේ වන විටත් මෙහෙයුම් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

