,
News

යහපාලන සමයේ රාජ්‍ය බැංකු හා අනුබද්ධිත ආයතන තුළ සිදු කර ඇති අක්‍රමිකතා පිළිබඳ පැමිණිලි ගණන 100 ඉක්මවා යයි

(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 21 පස්වරු 06.10)

යහපාලන රජය සමයේ දී රාජ්‍ය බැංකු සහ ඒවාට අනුබද්ධ ආයතන තුළ සිදුකර ඇති අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ කමිටුවට මේ වන විට පැමිණිලි 100කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බව එම කමිටුව සඳහන් කරයි. අදාළ පැමිණිලි බැංකු වෘත්තීය සමිති මෙන්ම මහජනතාව විසින් ද ඉදිරිපත් කර ඇති බවත් එම කමිටුව ප්‍රකාශ කරයි.

තවදුරටත් එම පැමිණිලි ලැබෙමින් පවතින බැවින් පැමිණිලි ලබා දීම සඳහා ලබා දී තිබූ කාලය සැප්තැම්බර් මස 30 වැනිදා තෙක් දීර්ඝ කරන බව ද එම කමිටුව සඳහන් කරයි.

ඒ් අනුව, ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරිකිරීමේ බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සහ ඒවාට අනුබද්ධ ආයතනයන්හි 2015 ජනවාරි මස 08 වැනිදායින් පසු සිදුව ඇති අක්‍රමිකතා, එකී ආයතනවල අරමුණුවලට පටහැනිව සහ බැංකු පනතේ විධිවිධාන සහ කාර්ය පරිපාටිවලට අනුකූල නොවන අයුරින් කටයුතු කළ අවස්ථාවන් සහ ඵලදායී නොවූ ක්‍රියාවන් හා ගණුදෙනු පිළිබඳව ජනතාව සතුව කිසියම් හෝ තොරතුරු වේ නම් එම තොරතුරු 2020 සැප්තැම්බර් මස 30 වැනි දිනට පෙර, අධ්‍යක්ෂ ජනරාල්, රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව, මුදල් අමාත්‍යාංශය, මහලේකම් කාර්යාලය, කොළඹ 01 යන ලිපිනයට හෝ ananda_sl@yahoo.com යන විද්‍යුත් තැපැල් ලිපිනයට යොමුකිරීමට හැක.

මෙම කමිටුවේ සභාපති ලෙස හිටපු මහාධිකරණ විනිසුරු සිසිර රත්නායක කටයුතු කරනු ලබන අතර වරලත් ගණකාධිකාරී සුසන්ත ද සිල්වා හා විශ්‍රාමික අතිරේක විගණකාධිපති ඩබ්ලිව්. ප්‍රේමානන්ද සෙසු සාමාජිකයෝ වෙති. මුදල් අමාත්‍යාංශයේ නියෝජිතයෙක් කමිටුවේ ලේකම්ධුරය දරනු ලබයි.

Rivira Ads
To Top