,
Environment

‘බල්ලොත් එළියට ගන්න වෙලේ පොඩ්ඩක් කෑගහුවා නම් මේ තුන්දෙනත් අද ජීවත් වෙනවා’ බූවැලිකඩ අනතුරින් දිවි බේරාගත් තරුණිය කියයි

(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 21 පස්වරු 09.32ට)

මහනුවර, බූවැලිකඩ, සංඝමිත්තා මාවතේ 2006 වසරෙන් පසු වරින්වර ඉදිකර තිබූ පස්මහල් ගොඩනැගිල්ල ඉදි කිරීම සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ අනුමැතිය නොලද ගොඩනැගිල්ලක් බව දැනට ඇති තොරතුරු අනුව දැන ගැනීමට ඇතැයි එම ආයතනයේ නායයෑම් අධ්‍යයන අංශයේ අධ්‍යක්ෂ ආර්.එම්.එස්. බණ්ඩාර සැප්තැම්බර් 21 දින සඳහන් කළා.

අදාළ පස්මහල් ගොඩනැගිල්ල කඩා වැටීමෙන් පහළින් පිහිටි නිවසේ තිදෙනෙකුට ජීවිත අහිමි වූ අතර මුදා ගැනීමේ කණ්ඩායම් විසින් දෙදෙනෙකුගේ දිවි බේරාගෙන තිබුණා. මිය ගොස් ඇත්තේ විවෘත විශ්ව විද්‍යාලයේ කතිකාචාර්යවරියක් වන 33 හැවිරිදි නීතිඥ අචලා ඒකනායක, ඇයගේ සැමියා වන 35 හැවිරිදි චමිල ප්‍රසාද් හා මාස එකහමාරක් වයසැති ඔවුන්ගේ බිළිඳා යි. අනතුරින් දිවි බේරාගෙන ඇත්තේ ඥාති සොයුරියක් සහ ඇයගේ මිත්තනිය යි.

සැප්තැම්බර් 20 අලුයම 4ත් 5ත් අතර කාලයේ කඩා වැටී ඇති ගොඩනැගිල්ල, කඩා වැටීමට පෙර ඇසී ඇති විශාල ශබ්දයක් හේතුවෙන් සොයා බැලීමේ දී දැන ගැනීමට ලැබී ඇත්තේ නිවසේ කණු පුපුරා යන බවයි. එසේම ටයිල් ගැලවී ඇති බව ද නිරීක්ෂණය වීම හේතුවෙන් වහාම නිවසෙන් එළියට ගිය බව නිවසේ හිමිකරු වන හිටපු බස්නායක නිලමේවරයෙක් වන අනුර ලෙව්කේ පවසනවා.

ඔවුන් පවසන්නේ තමන්ට ශබ්දය ඇසී ඒ පිළිබඳ දැනගත් මොහොතේ සිට ඉතාමත් කෙටි වේලාවක් තුළ නිවසෙන් පිට වූ බවයි. නිවැසියාගේ පුත්‍රයා සඳහන් කළේ තම ඇඳ සෙලවීම හේතුවෙන් අවදි වී මවට දුරකතන ඇමතුමක් ගත් බවයි. ඉන් පසු වහාම නිවසෙන් පිටත් වීමෙන් පසු මහනුවර පොලීසියට දැනුම් දුන් බව පවසන ඔහු කියා සිටින්නේ තමන් පොලීසියට ඇමතුම ගන්නා වෙලාවේ තමන් ඉදිරිපිටම නිවස කඩා වැටෙන අයුරු දැකීමට ලැබුනු බවයි. එසේම මවට ගත් ඇමතුම සහ පොලීසියට ගත් ඇමතුම අතර ඇත්තේ විනාඩි 7ක පමණ පරතරයක් බව පැවසූ නිවැසියාගේ පුත්‍රයා සඳහන් කළේ තමන් ඉක්මණින්ම වාහනය එලියට ගන්නා විටත් වත්තේ බිම සහ පාර අතර හිඩැසක් පැවති බවයි.

කෙසේ වෙතත් අනතුරින් දිවි බේරාගත් ඥාති දියණිය කියා සිටියේ මිය ගිය බිළිඳාට සීරීම් තුවාලයක්වත් සිදුව නොමැති බවයි. බිළිඳාට හුස්ම ගැනීමට නොහැකි වූ නිසා මිය ගොස් ඇති බව ඇය පවසනවා. එසේම පස් මහල් ගොඩනැගිල්ල කඩාවැටෙන බව දැන දැනත් බල්ලන් පවා එළියට ගත් එම පිරිස තමන්ව කෙසේ හෝ දැනුවත් නොකළා නම් තම ඥාතීන්ට මෙවැනි විපතක් නොවන බවත් කිසිවෙකුගේවත් ජීවිතයට අනතුරක් සිදුනොවන බවත් පවසමින් කඩා වැටුනු ගොඩනැගිල්ලේ හිමිකරුවන්ට ඇය චෝදනා කර සිටියා.

“කෑ ගහලා හරි කිව්වානම් අපිට එළියට දුවන්න කියලා, එළියට එන්න විනාඩියක්වත් යන්නේ නැහැ. තමන්ගේ බල්ලොයි වාහනනයි එළියට ගන්න වෙලේ එක විනාඩියක් ගෙදර ඔක්කොම යන්න ඇති. එක්කෙනෙක් හරි කෝල් එකක් හරි කෑගහලා හරි කිව්වානම්. ඒ පොඩි එක්කෙනාට චූටි හීරිමක්වත් වෙලා නැහැ. එහෙම්ම හුස්ම ගන්න බැරිව තමයි නැතිවෙලා තියෙන්නෙ. ඒ ළමයා මොන පවක් කළාටද? අර මිනිස්සුන්ට කියලා යන්න තිබ්බනෙ යන දිහාක. එක විනාඩියකින් කෑ ගහලා කිව්වා නම් මේ තුන්දෙනාම බේරිලානේ අද. ඒ මිනිස්සුන්ටත් පව් සිද්ධ වෙනවා දෙයියනේ.” යැයි අනතුරින් දිවිබේරාගත් ඥාති දියණිය සඳහන් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විසින් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා.

ඊට අමතරව අදාළ සිදුවීම සම්බන්ධයෙන් නිසි පරිදි විමර්ශනයක් සිදු කිරීම සඳහා පංච පුද්ගල විමර්ශන කමිටුවක් ද පොලීසිය විසින් පත්කර ඇති අතර අදාළ ගොඩනැගිල්ලේ ඉදිකිරීම් සඳහා අනුමැතිය ලබාදුන් බව කියන සියලු ආයතනවලින්, ඒ පිළිබඳ තහවුරු කර ගැනීමට නියමිතයි.

එහිදී, යම් හෙයකින් මෙම ගොඩනැගිල්ල අවිධිමත්ව ඉදිකර ඇති බවට කරුණු අනාවරණය වුවහොත් නොසැළකිලිමත් ලෙස ඉදිකිරීමක් කරමින් තිදෙනෙකුට දිවි අහිමි කිරීම සහ දේපළ අලාභහානි කිරීම” සම්බන්ධයෙන් හිමිකරුට එරෙහිව අපරාධ චෝදනා ගොනු කරන බව මහනුවර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ සඳහන් කළා.

කෙසේ වෙතත්, මෙවැනි භූමියක ඉදිකිරීමක් සිදුකිරීමේ දී ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ අනුමැතිය ලබා ගැනීම මේ වන විට අත්‍යවශ්‍ය වුවද එය වසර 10කට 11කට පමණ පෙර ක්‍රියාත්මක නීතියක් බව ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. මෙම ඉදි කිරීම 2006 වසරේ ඉදි කිරීම් ආරම්භ කළ ගොඩනැගිල්ලක් බව ගූගල් මැප් හරහා ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පෙන්වා දෙනවා. එහෙත් ඉන් පසු ද දිගින් දිගටම ගොඩනැගිල්ලට යම් යම් එක් කිරීම් ද සිදු කර ඇති අතර එහිදී ඊට අදාළ අනුමැතීන් ලබා ගැනීම අත්‍යවශ්‍ය බව එම ආයතනය පවසනවා.

මේ අතර ඉදි කිරීමකට අවසර දුන්න ද එම ඉදි කිරීම යම් නිශ්චිත කාලයකින් අවසන් නොකිරීම හේතුවෙන් එම ගොඩනැගිලි යථා පරිදි නිරීක්ෂණය කිරීමට අවශ්‍ය සම්පත් නොමැති බව මහනුවර මහ නගර සභාව පවසනවා.

Rivira Ads
To Top