,
Covid-19

කොරෝනා ආසාදිත රුසියානු ජාතිකයෙක් මාතරින් හමුවෙයි, නැවතී සිටි හෝටලයේ සේවකයින් හා ඔවුන්ගේ පවුල් නිරෝධායනයට

(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 24 පෙරවරු 11.36ට)

ශ්‍රී ලංකාවට පැමිණි රුසියානු ගුවන් යානයකින් පැමිණ, ආපසු රුසියාව බලා යාමට සූදානම් වූ රුසියානු ජාතිකයෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදිත බව සැප්තැම්බර් 23 දින තහවුරු වී තිබෙනවා.

අදාළ පුද්ගලයා ඇතුළු 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සැප්තැම්බර් 13 දින මත්තල ගුවන් තොටුපොළ හරහා දිවයිනට පැමිණ ඇති අතර දිවයිනෙන් පිටව යාමට පෙර මාතර පෞද්ගලික රෝහලකින් සිදුකරන ලද පීසීආර් පරීක්ෂණයක් මගින් ආසාදිත බව හඳුනාගෙන තිබෙනවා.

රුසියානු ගුවන් යානයක කාර්ය මණ්ඩල සාමාජිකයෙකු වන අදාළ පුද්ගලයා ආසාදිත බව හඳුනාගැනීමෙන් අනතුරුව මාතර සෞඛ්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් විසින් ඔහු හම්බන්තොට රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මාතර ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක එරාජ් වීරසුරිය සඳහන් කළේ අදාළ පිරිස මාතර, පොල්හේන ප්‍රදේශයේ හෝටලයක පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානයක රැඳී සිට ඇති අතර, එම ස්ථානයේ සේවයේ නියුතුව සිටි කාර්ය මණ්ඩලය ද පීසීආර් පරීක්ෂණයකට හා නිරෝධායනය සඳහා යොමුකර ඇති බවයි.

කෙසේ වෙතත් දැනට වාර්තා වන තොරතුරු අනුව අදාළ රුසියානු ජාතික පුද්ගලයා රට තුළට පැමිණෙන අවස්ථාවේ දී සිදුකළ පීසීආර් පරීක්ෂණයෙන් ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන නොමැති අතර නිරෝධායනය වෙමින් සිටිය දී සිදුකළ දෙවන පීසීආර් පරීක්ෂණයෙන් කොරෝනා ආසාදිතයෙක් බවට තහවුරු වී තිබෙ බවයි.

මේ අතර, නෙත් නිවුස් වාර්තා කර සිටින්නේ මෙම රුසියානු ජාතිකයින් කණ්ඩායමට අයත් සාමාජිකයින් අතරින් සිව් දෙනෙකු සැප්තැම්බර් 20 ඉරිදා දින ත්‍රී රෝද රථයකින් මාතර සුපිරි වෙළදසැල් දෙකකට ගොස් ඇති බවයි.

එසේම ඔවුන් නවාතැන් ගෙන සිටි හෝටලයේ සේවකයින් 23 දෙනෙකු හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ගාල්ල, හබරාදූව පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති අතර මෙම සිදුවීමට නිරාවරණය වූ පුද්ගලයින් සොයා විමර්ශන ක්‍රියාත්මක බව සෞඛ්‍ය අංශ සඳහන් කරනවා.

වසංගත රෝග විද්‍යා අංශයේ වෛද්‍ය සමිත ගිනිගේ සඳහන් කළේ, දැනට සිදු කර ඇති විමර්ශනවලට අනුව ආසාදිත පුද්ගලයා බාහිර සමාජයට නිරාවරණය වී නොමැති බවට කරුණු වාර්තා වී ඇති බවයි. එහෙත් ඒ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය සිදු කෙරෙන බව ද ඔහු සඳහන් කළා.

Rivira Ads
To Top