අපරාධ වාර්තා

“රත්මලානේ රොහා” පොලිස් වෙඩි පහරින් මරුට, මිනිය ගෙනාවොත් මරා දමන බවට “අංජු”ගෙන් තර්ජන

(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 24 පස්වරු 05.34ට)

පුද්ගල ඝාතන හා මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යව සිටි අපරාධකල්ලි සාමාජිකයෙකු වන හැරල් රෝහණ ද සිල්වා නොහොත් “රත්මලානේ රොහා” නොහොත් “ගොනා කෝවිලේ රොහා” නැමැත්තා සැප්තැම්බර් 24 දින පොලිස් වෙඩි පහරින් මිය ගොස් තිබෙනවා.

පොලීසිය පවසන්නේ පොලීසියට ලද තොරතුරු මත කළ වැටලීමක දී අදාළ පුද්ගලයාව අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් නිලධාරීන් වෙත වෙඩි ප්‍රහාරයක් එල්ල කළ බවයි. ඒ අනුව පොලීසිය විසින් එල්ල කළ ප්‍රතිප්‍රහාර හමුවේ බරපතල තුවාල ලබා ඇති හැරල් රෝහණ ද සිල්වා මීගමුව රෝහලට ඇතුළත් කිරීමේ දී මිය ගිය බව පොලීසිය පවසනවා.

අදාළ පුද්ගලයා මීගමුව ප්‍රදේශයෙන් ඉන්දියාවට පලා යාමට සූදානම්ව සිටින බවට පොලීසියට ලද තොරතුරක් මත බස්නාහිර උතුර දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් මීගමුව, කොච්චිකඩේ ප්‍රදේශයට ගොස් ඇති අතර එහිදී පොලීසිය සමග සිදු වූ වෙඩි හුවමාරුවකින් මෙම පුද්ගලයා මියගොස් තිබෙනවා.

ඔහු සතුව තිබී ටී 56 වර්ගයේ ගිනි අවියක්, රිවෝල්වරයක් සහා ඉන්දීය රුපියල් ලක්ෂ 03 ක මුදලක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කරන්නේ අදාළ පුද්ගලයා මත්ද්‍රව්‍ය ජාවාරම මෙන්ම මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ රැසකට අවශ්‍යව සිටි අයෙකු බවයි.

මේ අතර මෙම සිදුවීමත් සමග “කුඩු අංජු” නැමැත්තා විසින් හසුරුවනු ලබන බව සැළකෙන ෆේස්බුක් ගිණුමක සටහනක් තබමින් තර්ජනය කිරීමක් සිදු කර තිබෙනවා.

එමගින් ඔහු පවසා ඇත්තේ රොහාගේ මිනිය එම ප්‍රදේශයට ගෙන නොඑන ලෙසත්, රෝහල විසින් වළදැමිය යුතු බවත් සඳහන් කරමිනි. එසේම එසේ ගේන ඒමට සහය වන පුද්ගලයින් සහ අවමගුල් උත්සවයට සහභාගී වන පිරිස් ඝාතනය කරන බවට ද ඔහු තර්ජනය කර තිබෙනවා.

මීට අමතරව ඇතැම් මාධ්‍ය වාර්තා කර සිටියේ “රොහා” නැමැත්තා ඝාතනය කරන්නෙකුට “කුඩු අංජු” විසින් කෝටි 3ක ත්‍යාගයක් ලබා දෙන බව පවසා ඇති බවයි.

එසේම ගල්කිස්ස මූලික කරගත් මත්ද්‍රව්‍ය ජාලය සහ පාතාලයේ නායකත්වය වෙනුවෙන් “ගොනා කෝවිලේ අංජු” සහ “ගොනා කෝවිලේ රොහා” අතර තරඟයක් තිබී ඇති අතර “අංජු” නැමැත්තාගේ සහෝදරයා ඝාතනය කර ඇත්තේ ද “රොහා” විසින් බවට සැක කෙරෙයි.

මේ අතර පාතාල ක්‍රියාකාරිකයින් ෆේස්බුක් ගිණුම් පවත්වා ගනිමින් ඒ හරහා මෙවැනි ප්‍රකාශ නිකුත් කරමින් “වීරයින්” වීමට යාමේ ප්‍රවනතාවයක් ද දකින්නට ලැබෙනවා. මෙම ගිණුම් අක්‍රීය කිරීම සම්බන්ධයෙන් මේ වන තෙක් කිසිඳු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව ද වාර්තා වේ.

Rivira FB Group Rivira Youtube
To Top