,
Covid-19

මාතරින් හමු වූ රුසියානු ජාතිකයාට කොරෝනා නෑ, ඒත් සිදුවීම ගැන විමර්ශනයක් අවශ්‍ය බව සෞඛ්‍ය අංශ කියයි

(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 25 පස්වරු 08.56ට)

ශ්‍රී ලංකාවට පැමිණි රුසියානු ගුවන් සේවකයෙකු ආපසු රුසියාව බලා යාමට සූදානමින් සිටිය දී සිදුකළ පරීක්ෂණයක් මගින් කොවිඩ්-19 වෛරසය ආසාදිත වී ඇති බව සැප්තැම්බර් 23 දින වාර්තා වී තිබුණා.

ඒ ඔවුන් මෙරටින් පිටව යාමට පෙර මාතර පිහිටි පෞද්ගලික රෝහලකින් සිදු කළ පීසීආර් පරීක්ෂණකිනි.

පසුව ඔහුව හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර තිබූ අතර එහිදී සිදුකළ පීසීආර් පරීක්ෂණයක දී කොරෝනා වෛරසය වැළඳී නොමැති බවට වාර්තා වී තිබුණා. කෙසේ වෙතත් තවදුරටත් ඔහුව රෝහලේ තබා ගනිමින් තවත් පීසීආර් පරීක්ෂණයකට ලක් කිරීමට සෞඛ්‍ය අංශ තීරණය කර තිබූ අතර හම්බන්තොට රෝහලේ දී දෙවැනි වරටත් පීසීආර් පරීක්ෂණයක් සිදු කර තිබෙනවා.

එම පරීක්ෂණයෙන් ද තහවුරු වී ඇත්තේ අදාළ රුසියානු ජාතිකයාට කොරෝනා වෛරසය වැළඳී නැති බවයි.

කෙසේ වෙතත්, අදාළ කණ්ඩායම නවාතැන් ගෙන සිටි මාතර, පොල්හේන ප්‍රදේශයේ හෝටලය කොවිඩ් මර්දන කාර්ය පටිපාටිය මුළුමනින්ම උල්ලංඝනය කර ඇති බවත්, රජයේ අනුමත නිරෝධායන මධ්‍යස්ථාන තිබිය දී මෙම පිරිස වෙනත් ස්ථානයකට යොමු කිරීමට කටයුතු කළ පිරිස් සම්බන්ධවත් විමර්ශනයක් කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පෙන්වා දෙනවා.

එසේම අදාළ පුද්ගලයින් එම හෝටලයේ නිරෝධායනය වෙමින් සිටි බව ප්‍රදේශය භාර සෞඛ්‍ය අංශ දැනුවත් ව නොසිටි බව ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කළා.

කොරෝනා ආසාදිත රුසියානු ජාතිකයෙක් මාතරින් හමුවෙයි

Rivira Ads
To Top