කොවිඩ්-19

සාර්ථක එන්නතක් සොයා ගන්නා විට කොරෝනා මරණ මිලියන දෙක ඉක්මවා තිබිය හැකියි – එක්සත් ජාතීන්

(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 27 පෙරවරු 10.45ට)

කොරෝනා වෛරසය සඳහා නිල වශයෙන් සාර්ථක එන්නතක් හඳුන්වාදෙන විට කොවිඩ්-19 මරණ සංඛ්‍යාව මිලියන දෙකකටත් වඩා වැඩි විය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) අනතුරු අඟවා තිබෙනවා. වසංගතය මැඩපැවැත්වීම සඳහා සාමූහික ක්‍රියාමාර්ගයක් නොගන්නා තෙක් එම ප්‍රමාණය ඊටත් වඩා වැඩි විය හැකි බව ද ඔවුන් සඳහන් කරනවා.

“ මේ වන විට මරණ මිලියනයකට ආසන්න යි. මිලියනයක් යනු ඉතා භයානක තත්වයක්. දෙවන මිලියනයකුත් වාර්තා වීමට පෙර අප ගැන අවධානය යොමු කළ යුතුයි.” එක්සත් ජාතීන්ගෙන් ආපදා වැඩසටහනේ ප්‍රධානී මයික් රයන් එලෙස අදහස් දක්වමින් කියා සිටියේ “තවත් එවැනි ප්‍රමාණයක් වාර්තා නොවීමට අවශ්‍ය දේ කිරීමට අපි සාමූහිකව සූදානම්ද? අපි එම ක්‍රියාමාර්ග නොගන්නේ නම්… ඔව්, අපි එම සංඛ්‍යාවත් ඉක්මවූ සංඛ්‍යා ලෙස කණගාටුවෙන් බලා සිටිය යුතු වනු ඇත.”

වසංගතය මන්දගාමී වන බවට කිසිදු සලකුනක් නොපෙන්වා ඇති බව පවසන මයික් රයන් කියා සිටින්නේ ලොව පුරා සීමා කිරීම් සහ අගුලු දැමීම් ලිහිල් කිරීමෙන් පසු මෑතකදී ආසාදන වැඩිවීම පිළිබඳව තරුණයින්ට දොස් පැවරිය යුතු නැති බවයි.

සෑම වයස් කාණ්ඩයකම පුද්ගලයින්ගේ ගෘහස්ථ රැස්වීම් සහභාගීත්වය ඉහළ යෑම හේතුවෙන් ආසාදිතයින් ඉහළ ගොස් ඇති බව ද ඔහු පැවසීය.

මේ වන විට ලොව පුරා වාර්තා වී ඇති කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 998,745කි. අවසන් පැය 24 දී මරණ 5,306ක් වාර්තා වී තිබෙන අතර ඉන්දියාවෙන් පමණක් නව මරණ 1,124ක් වාර්තා වී තිබෙනවා. ලොව වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා කර ඇති රට වන්නේ ඇමරිකා එක්සත් ජනපදය වන අතර එහි මරණ සංඛ්‍යාව 209,177ක් ලෙසත් බ්‍රසීලයේ මරණ සංඛ්‍යාව 141,441ක් ලෙසත්, ඉන්දියාවේ මරණ ගණන 94,534ක් ලෙසත් වාර්තා වී තිබෙනවා.

Rivira FB Group Rivira Youtube
To Top