රසරැස

දීපිකා පදුකෝන්ගෙන් ඉන්දීය මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යංශය ප්‍රශ්න කරයි

(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 27 පෙරවරු 11.26ට)

බොලිවුඩයේ ජනප්‍රිය නළු සුෂාන්ත් සිං රාජ්පුත්ගේ අභාවයෙන් පසුව වාර්තා වූ මත්ද්‍රව්‍ය සම්බන්ධතාවයන් සමග බොලිවඩුයේ මත්ද්‍රව්‍ය සම්බන්ධ විමර්ශන දියත් කර තිබෙනවා. ඒ අනුව ලැබුණු තොරතුරු මත ජනප්‍රිය බොලිවුඩ් තරුවක් වන දීපිකා පදුකෝන්ගෙන් ප්‍රශ්න කිරීමට ඉන්දියාවේ මත්ද්‍රව්‍ය නිවාරණ ආයතනය කටයුතු කරනු ලැබූ බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කර තිබෙනවා.

34 හැවිරිදි දීපිකා පදුකෝන් සැප්තැම්බර් 26 සෙනසුරාදා මුම්බායි හි මත්ද්‍රව්‍ය පාලන මණ්ඩලයේ (එන්.සී.බී) කාර්යාලයට පැමිණ පැය 5කට අධික වේලාවක් ප්‍රකාශ ලබා දී තිබුණා. කෙසේ වෙතත් ඇය සන්තකයේ තිබිය දී කිසිඳු මත්ද්‍රව්‍යයක් අත්අඩංගුවට ගෙන නැති බව ද මාධ්‍ය වාර්තා කරයි.

34 හැවිරිදි සුෂාන්ත් රාජ්පුත්ගේ මරණයෙන් පසු එන්.සී.බී. විසින් බොලිවුඩ් හී මත්ද්‍රව්‍ය විමර්ශනය ආරම්භ කරන ලදී.

ඉන්දීය මාධ්‍යවලට අනුව, පරිභෝජනය සඳහා දේශීය සබඳතා මාර්ගයෙන් තහනම් මත්ද්‍රව්‍ය ඇනවුම් කළාදැයි දීපිකා පදුකෝන්ගෙන් ප්‍රශ්න කරනු ලැබූ බව සඳහන් වේ.

පසුගිය සතිය තුළ බොලිවුඩ් වෘත්තිකයන් රැසකගෙන් මත්ද්‍රව්‍ය පාලන ආයතනය ප්‍රශ්න කර ඇති අතර එහිදී ඔවුන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ අපරාධකරුවන් සමඟ සම්බන්ධතා පැවැත්වූවාද යන්න සම්බන්ධයෙන් විමර්ශනය කර තිබෙන බව සඳහන්.

මේ අතර, පදුකෝන්ගේ කළමනාකරු වන කරිෂ්මා ප්‍රකාශ්ගෙන් සැප්තැම්බර් 25 සිකුරාදා ප්‍රශ්න කරන ලදී. ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ දීපිකා පදුකෝන් සහ කරිෂ්මා අතර මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පණිවුඩ හුවමාරුවක් (චැට් එකක්) සිදු වූ බව පදුකෝන් පිළිගෙන ඇති බවයි.

මේ සතිය මුලදී, රූපවාහිනී නාලිකාවක් වන ටයිම්ස්නව් ආයතනය විසින් හැෂ් නැමැති මත්ද්‍රව්‍ය මිලදී ගැනීම පිළිබඳ වට්ස්ඇප් සංවාදයක කොටස් විකාශනය කරමින් එහි පාර්ශවකරුවන් වන්නේ පදුකෝන් සහ ඇගේ කළමනාකරු බවට චෝදනා කළහ.

බොලිවුඩ් නිළියන් තිදෙනෙකු වන සාරා අලි ඛාන්, ශ්‍රද්ධා කපූර් සහ රකූල් ප්‍රීත් සිං ද එන්.සී.බී. ආයතනය වෙත කැඳවා ඇති බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

රාජ්පුත්ගේ මරණයෙන් පසු රූපවාහිනී නාලිකා සහ සමාජ මාධ්‍ය භාවිතා කරන්නන්ගේ ඉලක්කයක් වූ චිත්‍රපට නිෂ්පාදක කරන් ජොහාර් සැප්තැම්බර් 25 සිකුරාදා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ පසුගිය වසරේ ජූලි මාසයේදී ඔහුගේ නිවසේදී ඔහු විසින් පවත්වන ලද සාදයකදී මත්ද්‍රව්‍ය පරිභෝජනය කළ බවට එල්ල වන චෝදනා “අසත්‍ය සහ පදනම් විරහිත” බවයි.

රාජ්පුත්ගේ මරණය ඉන්දියාවේ ප්‍රවෘත්ති නාලිකා ඔහුගේ හිටපු පෙම්වතිය වන නිළි රියා චක්‍රවර්ති වෙත චෝදනා කළේ මත්ද්‍රව්‍යවලින් හා කළු මැජික්වලින් ඔහුව සියදිවිනසා ගැනීමට පෙලඹවූ බවට අනුමාන කරමිනි.

ඔහු මානසික අවපීඩනයෙන් පෙළෙන බවට පළ වූ වාර්තා සැක කළ රාජ්පුත්ගේ පවුලේ සාමාජිකයින් 28 හැවිරිදි චක්‍රවර්ති වෙත විවෘතව චෝදනා කර සිටියේ රාජ්පුත්ගේ මුදල් සොරකම් කළ බවටත් ඔහුට හිරිහැර කළ බවටත් සැක පළ කරමිනි.

කෙසේ වෙතත්, රාජ්පුත් වෙනුවෙන් ගංජා මිලදී ගත් බවට චෝදනා කරමින් මෙම නිළිය මේ මස මුලදී අත්අඩංගුවට ගනු ලැබීය. එහෙත් අදාළ නිළිය එම සියලු චෝදනා ප්‍රතික්ෂේප කර ඇති බව ද වාර්තා වේ.

Rivira FB Group Rivira Youtube
To Top