දේශීය පුවත්

රට තුළ ජාතික සහ බෞද්ධ කොඩි නිෂ්පාදනය දිරිමත් කෙරේ

(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 28 පස්වරු 11.18ට)

ලබන වසරේ සිට පාසල් හා ආරක්ෂක හමුදා නිල ඇඳුම් සඳහා අවශ්‍ය රෙදි සැපයීමේ වගකීමෙන් වැඩි ප්‍රතිශතය දේශීය නිෂ්පාදකයන්ට පැවරීමට ඇති හැකියාව ජනාධිපතිවරයාගේ අවධානයට යොමුව තිබෙනවා.

මහා සහ සුළු පරිමාණ දේශිය නිෂ්පාදකයන් ඉහළ ප්‍රමිතියකින් සහ ගුණාත්මක අගයෙන් වැඩි රෙදි නිෂ්පාදනය වහාම ආරම්භ කළ යුතු බව ද ජනාධිපතිවරයා අවධාරණය කරයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, සැප්තැම්බර් 28 වන දින පෙරවරුවේ දී දං කොටුව, කර්මාන්තපුරයේ Dankotuwa Textile Mill (pvt) Ltd, කඳාන කපුවත්ත වැන්ගාඩ් Vanguard Industrial (Pvt) Ltd සහ වත්තල Creative Textile Mill (Pvt) Ltd ආයතන නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවයි.

පාසල් නිල ඇඳුම් සඳහා ක්‍රියාත්මක කළ කූපන් ක්‍රමයත් සමඟ විශාල ප්‍රාග්ධනයක් වැය කොට පටන් ගත් ආයතන කිහිපයක් වසා දැමීමට සිදු වූ බව කර්මාන්තකරුවෝ පවසති විශාල පිරිසකට රැකියා අහිමි විය.

දංකොටුව කර්මාන්තපුරයේ පිහිටුවා ඇති Creative Textile Mill (pvt) Ltd ආයතනය ප්‍රථමයෙන් ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් විය. රුපියල් මිලියන 2000ක ආයෝජනයකින් ස්ථාපිත කර්මාන්ත ආයතනය 2015 වසරේ සිට වසා තැබිණි. කිසිදු ආදායමක් නොලැබුණ ද වසරකට රුපියල් මිලියන 08ක බැංකු පොළියක් ගෙවීමට හිමිකරුට සිදුව තිබේ.

Creative Textile ආයතනය ඉන්දියාව, පාකිස්ථානය සහ චීනය යන රටවලින් නූල් ආනයනය කොට රෙදි නිෂ්පාදනය කිරීමෙන් 500 දෙනෙකුට රැකියා සපයා ඇත. එහි නිෂ්පාදන ධාරිතාව දිනකට රෙදි මීටර් ලක්ෂය දක්වා වැඩි කිරීමට අපේක්ෂා කෙරේ. වාර්ෂික පාසල් නිල ඇඳුම් අවශ්‍යතාවය මීටර් මිලියන 11කි.

රෙදි නිෂ්පාදනය කඩිනමින් වැඩි කිරීමෙන් ආනයනය පිරිවැය 65%කින් ඉතිරිකරගත හැකි බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ ය. දේශීය රෙදි මිලට ගැනීමෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට වාර්ෂිකව රුපියල් මිලියන 80කට වැඩි මුදලක් ඉතිරි කර ගත හැක බව ද අනාරවණය විය.

ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය සහ ජනතාව දංකොටුව, කර්මාන්තපුරය ආශ්‍රිතව ඉදිරිපත් කළ ගැටළු පිළිබඳව ජනාධිපතිවරයා අවධානය යොමු කළේ ය.

2015ට පෙර පාසල් නිල රෙදි අවශ්‍යතාවයෙන් 40%ක දායකත්වයක් දුන් කඳාන, කපුවත්ත වැන්ගාඩ් Vanguard Industrial (Pvt) Ltd ආයතනය දැන් ඇඳ ඇතිරිලි සහ කුඩා නිෂ්පාදනයේ නිරතව සිටියි. ආතනයේ සමස්ත නිෂ්පාදන ක්‍රියාවලිය නිරීක්ෂණය කළ ජනාධිපතිතුමා දේශීය වෙළඳපොලෙහි රෙදි අවශ්‍යතාවය සපුරාලීමට ධාරිතාව වැඩි කරන්නැයි ආයතන කළමනාකාරිත්වය දිරි ගැන්වීය. තම ආයතනයට ද පාසල් නිල ඇඳුම් රෙදි අවශ්‍යතාවයෙන් 30%ක්් සම්පාදනය කළ හැකි බව කළමනාකාරිත්වය සඳහන් කළේ ය.

Dankotuwa Textile Mill (pvt) Ltd ආයතනයේ ම ශාඛාවක් වන වත්තල ක්ලිප්ටෙක්ස් Creative Textile Mill (pvt) Ltd. ආයතන ද ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් විය. ත්‍රිවිධ හමුදාවේ නිල ඇඳුම් සඳහා අවශ්‍ය රෙදි එහි නිෂ්පාදනය කෙරේ. 1500ක පමණ පිරිසක් සේවය කරති. ආරක්ෂක අංශවලට අවශ්‍ය පරිදි රෙදි වර්ණ ගැන්වීම ආයතනයේ මූලික කාර්යයකි. ආනයනික රෙදි පරීක්ෂා නොකරන අතර, දේශීය රෙදි නිෂ්පාදන පරීක්ෂණවලට යොමු කිරීමේ දී විශාල පිරිවැයක් දැරීමට සිදුවන බව කළමනාකරිත්වය ජනාධිපතිතුමාට එහිදී පැවසීය.

රෙදි සෝදන කුඩු වර්ග නිසි නියාමනයකට ලක් නොවන බව පෙන්වා දුන් ඔවුහු එමගින් රෙදිවල වර්ණයට විශාල හානියක් වන බව පැවසූහ. රජය දේශීය කර්මාන්තකරුවන්ට දෙන සහය ප්‍රයෝජනයට ගෙන දේශීය මෙන්ම විදේශීය වෙළෙඳ පොළ දිනා ගැනීමට උත්සුක වන්නැයි ජනාධිපතිතුමා ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය.

මේ ආයතනය නිෂ්පාදනය කරන ජාතික සහ බෞද්ධ කොඩි නිරීක්ෂණය කළ ජනාධිපතිතුමා ජාතික සහ බෞද්ධ කොඩි ආනයනය වහා ම නතර කිරීමට උපදෙස් දුන් අතර ඉල්ලුමට අවශ්‍ය පරිදි රට තුළ නිෂ්පාදනය වැඩි කිරීමට පියවර ගන්නැයි හිමිකරුවනට දැනුම් දුන්නේය. අමාත්‍ය විමල් වීරවංශ ද ජනාධිපතිතුමා සමග නිරීක්ෂණ චාරිකාවට එක්ව සිටියේය.

Rivira FB Group Rivira Youtube
To Top