,

පරිසර විනාශයන් ගැන අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රබන්ධ කොට සමාජගත කිරීමේ මෙහෙයුමක්

(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 28 පස්වරු 10.55ට)

වත්මන් රජය බලයට පැමිණීමෙන් පසු පෙර නොවූ අයුරින් පරිසරය විනාශ කිරීමට පටන්ගෙන ඇතැයි කියැවෙන අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රබන්ධ කොට සමාජගත කිරීමේ මෙහෙයුමක් හඳුනා ගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

රක්ෂිත වනාන්තර ගිනි තබා විනාශ කරන බවටත්, ස්වාභාවික කැලෑවල පිහිටි ගස් කපා හෙළන බවටත්, මේ සත්‍යා වාර්තා මඟින් හුවා දක්වනු ලැබෙන්. මින් පෙර කිසි කලෙක මෙබඳු පරිසර විනාශයක් සිදු නොවූ බවත් රජය එවැනි නීති විරෝධී ක්‍රියා හමුවේ නිහඬව සිටින බවත් ඒත්තු ගැන්වීමට මේ පුවත් නිර්මාණය කරන අය උත්සහ කරති.එවැනි වාර්තාවල මුලුමනින් අසත්‍ය සහ විකෘති කරන ලද තොරතුරු ඇතුළත් බව නිරීක්ෂණය කර ඇති බවත් එම නිවේදනයේ සඳහන් කරයි.

පරිසර විනාශයන් ගැන කියැවෙන අසත්‍ය පුවත් විශේෂයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සහ ඇතැම් මුද්‍රිත මාධ්‍ය සහ රූපවාහිනී හා ගුවන් විදුලි මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කෙරේ. මෙසේ පළ කෙරෙන පුවත් අසත්‍ය බව කරුණු සහිතව සනාථ කළ විට ඒවා සමාජ මාධ්‍යයෙන් ඉවත් කර ගැනේ. පසුව වෙනත් අසත්‍ය වාර්තාවක් ගොතා පළ කරනු ලැබේ. විශේෂ බවේග සහ ඔවුන්ගේ අධාරකරුවෝ මේ අසත්‍ය පුවත්වලට ඉමහත් ප්‍රසිද්ධියක් දෙති. ඔවුන්ගේ රැස්වීම් පුවෘත්ති සාකච්ඡා සහ සම්මුඛ සාකච්ඡාවලදී අස්‍ය පුවත් අතිශෝක්තියෙන් අවධාරණය කෙරේ.

මහවැලි අධිකාරියට අයත් ‘එච්’ කලාපයේ, අනුරාධපුර, ඉහලතලාව වැව ප්‍රතිසංස්කරණයේ දි දැවැන්ත වන විනාශයක් සිදුවන බවට චෝදනා කරමින් පෞද්ගලික රූපවාහින් ආයතනයක් පසුගිය සැප්තැම්බර් 15 දින සිය ප්‍රවෘත්ති ප්‍රකාශයට ඇතුළත් කර තිබූ වාර්තාව අසත්‍ය පුවත් ගොතා සමාජගත කිරීමේ මෙහෙයුමට කදිම නිදසුනකි. වන විනාශයට බරපතළ දූෂණ ක්‍රියා සිදුවන බවට ද එමඟින් චෝදනා කරනු ලැබීය.

පෞද්ගලික රූපවාහිනිය පළ කළ පුවත මුලුමනින් අසත්‍යයක් බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ ‘එච්’ කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකරු උභය කළ්‍යාණ කුමාර සැප්තැම්බර් 17 වැනිදා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් වෙත සාක්ෂි සහිතව දැනුම් දුන්නේ ය. එහි සඳහන් පරිදි 2016 වසරේ ඇති වූ මහ වැසි නිසා ඉහළතලාව වැව් බැම්ම කැඩී යාමේ අවදානමක් ඇති විය. යුද හමුදාවේ සහ ප්‍රදේශවාසීන්ගේ සහයෝගයෙන් වැලි කොට්ට තබා වැව් බැම්ම තාවකාලිකව රැක ගන්නා ලදී. බැම්ම බිඳි ගියහොත් තලාව නගරය සහ පුරාණ ගම්මාන මුලුමනින් ජලාශයෙන් යට වෙයි. කොළඹ – යාපනය දුම්රිය මාර්ගයට සහ අනුරාධපුර – පාදෙණිය මහා මාර්ගයට බරපතල හානි පැමිණේ.

පසුව කෘෂිකර්ම අමාත්‍යාංශයේ දේශගුණික අව බලපෑම් අවම කිරීමේ ව්‍යපෘතිය යටතේ වැව ප්‍රතිසංස්කරණය පිණිස ලෝක බැංකුවෙන් රුපියල් මිලියන 38.9ක ආධාර මුදලක් ප්‍රදානය කෙරිණ. ව්‍යාපෘතියේ වැඩ පසුගිය ජුලි මාසයේ දී ආරම්භ විය. ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ ප්‍රගතිය බැංකුව විසින් අධීක්ෂණය කෙරේ.

ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ දී වැවේ සහ වැව් බැම්ම මත වැඩී ඇති ගස් 80ක් ඉවත් කිරීමට තීරණය විය. ඒ සියල්ලම පාහේ මාර ගස් ය. ව්‍යාපෘතිය සඳහා පාරිසරික ඇගයීම සහතින මෙන්ම භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ අනුමැතිය ද ලැබී ඇත. අනුමැතිය දුන් ලිපිවලට අත්සන් තබා ඇත්තේ භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සී.එච්.ඊ.ආර්. සිරිවර්ධන සහ දේශගුණික අවබලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ඉංජිනේරු ඩී.සී.එස්. ඇලකන්ද යන අය විසින් ය. කපා දැමෙන ගස් රාජ්‍ය දැව සංස්ථාව විසින් ඉවත් කරගනිමින් පවති.

වැව ප්‍රතිසංස්කරණයේ දී මහා වන විනාශයක් සිදුවන බවට චෝදනා කළ පෞද්ගලික් රූපවාහිනී ආයතනය මේ සත්‍ය තොරතුරු කිසිවක් සඳහන් නොකළ බව ද ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ජනතාව නොමඟ යවනු පිණිස සිතා මතා අසත්‍ය ප්‍රවෘත්ති නිර්මාණය කොට විවිධ මාධ්‍ය ඔස්සේ සමාජගත කරන පිරිස් හඳුනාගෙන ඔවුනට එරෙහිව නීතිමය පියවර ගැනීමට රජය තීරණය කර ඇති බව එම නිවේදනයෙන් අවධාරණය කරයි.

Rivira Ads