(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 29 පස්වරු 02.13ට)
ශ්‍රී ලංකාව තුළ ගව ඝාතනය තහනම් කිරීමට අදාළව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඉදිරිපත් කළ යෝජනා කිහිපයකට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබෙනවා.
ඒ අනුව යෝජනා කිහිපයකට යටත්ව ශ්‍රී ලංකා තුළ ගව ඝාතනය වහාම තහනම් ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට කැබිනට් මණ්ඩලය සැප්තැම්බර් 28 දින අනුමැතිය ලබා දී තිබෙනවා.
කෘෂිකර්මාන්තය මත පදනම් වූ ආර්ථිකයක් පවතින රටක් ලෙස ශ්‍රී ලංකාව තුළ ග්‍රාමීය ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනය කිරීම සඳහා ගව සම්පතෙන් ලැබෙන දායකත්වය අති විශාල බව එම අගමැතිවරයා විසින් ඉදිරිපත් කරනු ලැබූ කැබිනට් පත්‍රිකාවේ සඳහන් ව ඇත.
එසේම එහි වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ ගව ඝාතනය ඉහළ යාම හේතුවෙන් සාම්ප්‍රදායික ගොවිතැන් කටයුතු සිදු කිරීමේදී අවශ්‍ය වන ගව සම්පත ප්‍රමාණවත් නොවන බවයි. එසේම ආනයනික කිරිපිටි සඳහා විදේශයන්ට ඇදී යන අති විශාල විදේශ විනිමය ප්‍රමාණය අවම කර ග්‍රාමීය ජනතාවගේ ජීවනෝපාය වැඩි දියුණු කිරීමට හැකි වන පරිදි දේශීය කිරි කර්මාන්තය නගා සිටුවීම සඳහා ප්‍රමාණවත් ගව සම්පතක් නොමැති වීම එම කර්මාන්තයේ දියුණුවට බාධාවක් වී ඇති බව ද එහි සඳහන්ව ඇත.
එබැවින් එම කරුණු සැලකිල්ලට ගෙන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් ඉදිරිපත් කරන ලද පහත සඳහන් යෝජනා ක්‍රියාත්මක කිරීම පිණිස සැප්තැම්බර් 28 දින රැස් වූ අමාත්‍ය මණ්ඩලය සිය අනුමැතිය ලබා දී තිබෙනවා.
ගව ඝාතනය සම්බන්ධයෙන් දැනට රට තුළ ක්‍රියාත්මකව පවතින 1958 අංක 29 දරන සත්ත්ව පනත, 1893 අංක 09 දරන ගෝ ඝාතක ආඥා පනත සහ අදාළ අනුශාංගික වෙනත් නීති හා පළාත් පාලන ආයතන විසින් සම්මත කර ඇති නීතිරීතින් සංශෝධනය කිරීම සඳහා නොපමාව අවශ්‍ය පියවර ගැනීම.
ගව මාංශ පරිභෝජනය කරන ජනතාව වෙනුවෙන් අවශ්‍ය මාංශ ආනයනය කිරීම හා සහන මිලකට ලබා දීම සඳහා නොපමාව අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම.
කෘෂිකාර්මික කටයුතු සඳහා ඵලදායී අන්දමින් යොදා ගත නොහැකි වයස්ගත තත්ත්වයට පත් වන ගවයින් සම්බන්ධයෙන් යෝග්‍ය වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීම.
එකී පියවරයන් ගැනීමට යටත්ව, වහාම ක්‍රියාත්මක වන පරිදි මෙරට තුළ ගව ඝාතනය තහනම් කිරීම.
ශ්‍රී ලංකාව තුළ ‘ගව ඝාතනය’ තහනම් කිරීමට අගමැතිගෙන් යෝජනාවක්

