,
News

වතු ජනතාවට ලයිම ආශ්‍රිතවම නව නිවාස

(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 29 පස්වරු 05.24ට)

වතු ජනතාවට නිවාස සම්පාදනයේ දී ලයිම ආශ්‍රිතවම ඉදිකිරීමේ අවශ්‍යතාව ජනාධිති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ පෙන්වා දෙති.

වතු නිවාස සහ ප්‍රජා යටිතල පහසුකම් පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව සැප්තැම්බර් 29 වන දින දහවල් ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ ය.

ඉන්දීය රජයේ ආධාර යටතේ වතු ජනතාව වෙනුවෙන් නිවාස 4,000ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය 2016 වසරේ දී ආරම්භ කර තිබේ. දැනට ඉදිකිරීම් අවසන් කර ඇති නිවාස සංඛ්‍යාව 669කි. යටිතල පහසුකම් සැපයීමේ දී ඇති ප්‍රායෝගික ගැටළු ඉදිකිරීම් ප්‍රමාදයට හේතු වූ බව නිලධාරීන් සඳහන් කරයි.

වතු ජනතාව ජීවත්වන ලයිම සඳහා අත්‍යාවශ්‍ය යටිතල පහසුකම් සපයා තිබේ. එම නිසා ලයිම ආශ්‍රිතව නව නිවාස ඉදිකිරිමෙන් ව්‍යාපෘතියේ ප්‍රතිලාභ කඩිනමින් ජනතාවට දිය හැකි බව ජනාධිපතිතුමා සහ අගමැතිතුමා පෙන්වා දෙයි.

සිදුවිය යුත්තේ ඔවුන් ජිවත්වන පරිසරයේ ම සිට ජීවන තත්ත්වය නඟා සිටුවීම බව ජනාධිපතිතුමා සඳහන් කළේ ය. නිවාස සැලසුම් කිරීම රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට පැවරීමෙන් ඉදිකිරීමේ ප්‍රමිතිය සහ ගුණාත්මකභාවය ඉහළ තත්ත්වයක පවත්වාගත හැකි බව ජනාධිපතිතුමා පෙන්වා දෙයි.

වතු ජනතාවටග් ජීවන තත්ත්වය නඟා සිටුවීමට රජය ගෙන යන වැඩපිළිවෙළට සමගාමීම පෞද්ගලික වතු සමාගම් ද තම යුතුකම් සහ වගකීම් කොටස ඉටුකළ යුතු බව ජනාධිපතිතුමා එහදී පෙන්වා දුන්නේ ය.

වතු නිවාස සහ ප්‍රජා යටිතල පහසුකම් පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශය සෞඛ්‍ය, අධ්‍යාපන, කෘෂිකර්ම, නිවාස, ක්‍රීඩා ඇතුළු රේඛීය අමාත්‍යාංශවල සහය ගනිමින් වතු ජනතාවගේ ජීවන තත්ත්වය නඟා සිටුවීමට පියවර ගන්නැයි ද ජනාධිපතිතුමා පැවසීය.

වතු ආශ්‍රිත පෙර පාසල්, ප්‍රාථමික විද්‍යාල, සෞඛ්‍ය අවශ්‍යතා වෙනුවෙන් වෛද්‍ය මධ්‍යස්ථාන සංවර්ධන කළ යුතු බව ද ජනාධිපතිතුමා අවධෘරණය කළේ ය.

වතු ආශ්‍රිතව ජීවත්වන තරුණ තරුණියන්ට NVQ මට්මමේ සහතිකයක් ගත හැකි මට්ටමින් වෘත්තිය පුහුණුවක් දී රැකියා අවස්ථාවලට යොමු කිරීමේ ඇති වැදගත්කම ද දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කෙරිණ.

438ක් වන වතු ආශ්‍රිතව ඇති සෞඛ්‍ය මධ්‍යස්ථානය රජයට පවරාගෙන ගුණාත්මක සේවාවක් වතු ජනතාව වෙනුවෙන් කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපතිවරයා පැවසීය.

බණ්ඩාරවෙල, හැටන්, නුවරඑළිය සහ ඇල්ල කේන්ද්‍ර කර ගනිමින් සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට ගෙන ඇති සැලසුම් ද එහිදී සාකච්ඡාවට ලක් විය.

වත්ත සහ ගම වෙන් නොවන ආකාරයෙන් සියලු සංවර්ධන කටයුතු සිදුවිය යුතු බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේ ය.

රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන්, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිති ප්‍රධාන උපදේ ශක ලලිත් වීරතුංග, කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරු සහ රේඛීය ආයතනවල ප්‍රධානීහු සාකච්ඡාවට එක්ව සිටියහ.

Rivira Ads
To Top