,

පුවත්පත් මණ්ඩල පනත සංශෝධනයට රජයේ අවධානය

(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 29 පස්වරු 10.08ට)

ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තිය නිපුණතා වර්ධනයට අභ්‍යාස ආයතනයක් පිහිටුවීමට සැලසුම් කර තිබෙනවා. එමෙන්ම, විද්‍යුත් සහ සමාජ මාධ්‍ය වෙතින් පුද්ගලයන්ට, ආයතනවලට සහ ව්‍යාපාරවලට එල්ල කෙරෙන අනිසි බලපෑම සහ අගතීන් පිළිබඳව ලැබෙන පැමිණිලි සංඛ්‍යාව ඉතා ඉහළ මට්ටමක පවතින බවත් එම කරුණු සැලකිල්ලට ගනිමින් පුවත්පත් මණ්ඩල පනත සංශෝධනය කිරීමට පියවර ගැනීමට රජයේ අවධානය යොමුව තිබෙන බවත් අනාවරණය වී තිබෙනවා.

ඒ, සැප්තැම්බර් 29 වන දින පස්වරුවේ දී තැපැල් සේවා හා ජනමාධ්‍යවේ දී වෘත්තිය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාවේදී ය.

වාර්ෂීකව තැපැල් දෙපාර්තුමේන්තුව රුපියල් මිලියන 06කට අධික ආදායමක් උපයයි. වියදම රුපියල් බිලියන 14කි. වැටුප් සහ අතිකාල දීමනා ඇතුළු සෙසු පිරිවැය නිසා රුපියල් බිලියන 06ක පාඩුවක් වාර්ෂිකව සිදුවන බවද එම සාකච්ඡාවේ දී අනාවරණය විය. නව සේවා හඳුන්වාදෙමින් ඉහළ තාක්ෂණික ක්‍රම උපයෝගි කර ගැනීමෙන් තැපෑල ලාභ ලබන තත්ත්වයට පත් කිරීමට ඇති ඉඩ කඩ පිළිබඳව ද එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණ.

එහිදී, අන්තර්ජාතික තැපැල් සේවා දෙස අවධානය යොමු කර සැපයිය හැකි පුළුල් සේවා අවස්ථා හඳුනාගතහොත් ශ්‍රී ලංකා තැපෑලට ජාතික ආර්ථිකයේ ප්‍රධාන කොටස්කරුවෙකු විය හැකි බව ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.

ශ්‍රී ලංකා තැපෑල සතු විශාල සම්පත් සම්භාරය නිසි ලෙස කළමනාකරණයෙන් ඉලක්කය වෙත පහසුවෙන් ළඟාවිය හැකි යැයි ද ජනාධිපතිවරයා එහිදී පවසා ඇත.

දිවයිනේ දිස්ක්‍රික්ක රැසක පිහිටි පැරණි තැපැල් කාර්යාල ගොඩනැගිලි සංචාරක අමාත්‍යාංශයේ ද සහය ඇතිව සංචාරක ආකර්ශණය දිනා ගත හැකි ස්ථාන බවට පත් කිරීමට හැකි බවත් කොළඹ කොටුවේ පිහිටි පැරණි මධ්‍යම තැපැල් ගොඩනැගිල්ල පෞරාණික බව රැක ගනිමින් නවීකරණය කිරීමටත් එම සාකච්ඡාවේ දී තිරණය කර ඇත.

කොවිඩ් වසංගතය නිසා රට වසා දමා තිබු සමයේ රෝහල් හා ඔසු හල් වෙතින් ඖෂධ වර්ග නිවෙස් වෙතම බෙදා හැරීමට තැපැල් දෙපාර්තුමේන්තුව කළ සේවය ආර්ථික පුනර්ජිවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂගේ ඇගයීමට ලක් විය. එමෙන්ම, Speed Post සේවය තවදුරටත් වේගවත් කිරීමෙන් සේවාලාභීන් විශාල පිරිසකගේ අවධානය දිනාගත හැකි බව ද ඔහු එහිදි පවසා ඇත.

මැණික් අපනයනයේ දී භාණ්ඩ බෙදාහරින පෞද්ගලික ආයතනවල සේවය වැඩි මිලකට ලබා ගැනීමට ව්‍යාපාරිකයෝ පෙළඹ සිටිති. ශ්‍රී ලංකා තැපැල් සතුව ගෙන් ගෙට ගොස් බෙදා හැරීමේ ක්‍රමයක් (Door to Door Delivery System) වූයේ නම් ඉහළ ආදායමක් උපයා ගැනීමට ඇති හැකියාව පිළිබඳව ද බැසිල් රාජපක්ෂ එහිදී පෙන්වා දී තිබෙනවා.

තවද, හඬකවන ලද විදේශ ටෙලිනාට්‍ය විකාශයේ දී අය කෙරෙන බදු නාළිකාවල ඉල්ලීම මත කොවිඩ් කාල සීමාවේදී ඉවත් කෙරිණ. එය නැවත සක්‍රීය කිරීමට ද එම සාකච්ඡාවේ දී තීරණය කර ඇත.

රූපවාහිනී නාලිකා ප්‍රේක්ෂක ප්‍රතිචාර මත ශ්‍රේණිගත කිරීම කැළණිය විශ්ව විද්‍යාලයේ සහභාගීත්වයෙන් සමස්ත දිවයිනම ආවරණය වන පරිදි අපක්ෂපාතීව සිදු කරීමට සැලසුම් කර තිබෙනවා. ඊට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර කඩිනමින් එය ක්‍රියාවට නැංවීමේ අවශ්‍යතාවයට එම සාකච්ඡාවේ දී එකඟතාවය පළ විය.

අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, රාජ්‍ය අමාත්‍ය එස්. විලයේන්ද්‍රන්, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරු සහ රේඛීය ආයතනවල ප්‍රධානීන් ඇතුළු පිරිසක් එම සාකච්ඡාවට එක්ව තිබේ.

Rivira Ads