දේශීය පුවත්

119 ඔස්සේ ව්‍යාජ තොරතුරු දුන් කාන්තාවක් අත්අඩංගුවට

(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 30 පස්වරු 03.35ට)

පොලිස් හදිසි ඇමතුම් අංශය වෙත 119 හරහා ඇමතුමක් ලබා දී ව්‍යාජ තොරතුරු ලබාදුන් බවට සැකපිට පොල්ගහවෙල ප්‍රදේශයේ කාන්තාවක් සැප්තැම්බර් 30 දින පොල්ගහවෙල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොල්ගහවෙල, ගොඩවෙල ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි වියේ කාන්තාවක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ජූලි 20 දින පොල්ගහවෙල කහවත්තඇල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු මියයාම සම්බන්ධයෙන් ලබාදුන් තොරතුරක් සම්බන්ධවයි.

අදාළ ඇමතුමෙන් එම කාන්තාව පොලීසිය වෙත පවසා ඇත්තේ මියගිය පුද්ගලයාව එම පුද්ගලයාගේම පුතා විසින් ගෙල සිරකර මරා දමා ඇති බවයි.

කෙසේ වෙතත්, ලැබුණු තොරතුරු මත අධිකරණයට කරුණු දැක්වූ පොලීසිය අධිකරණ නියෝග මත කුරුණෑගල ශික්ෂණ රෝහලේ දී මරණ පරීක්ෂණයක් සිදුකිරීමට යොමු කර ඇති අතර එයින් හෙළිදරව් වී ඇත්තේ අදාළ මරණය ස්වභාවික මරණයක් බවයි.

ඒ අනුව, තොරතුරු ලබාදුන් කාන්තාවගේ දුරකතන අංකය හරහා සිදුකරනු ලැබූ විමර්ශනයකින් මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත්තේ ව්‍යාජ තොරතුරු ලබා දීම සම්බන්ධවයි.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top