(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 30 පස්වරු 07.34ට)
සමගි ජනබලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහභාගී වූ ජනහමුවකට ගල් ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් සැක පිට පුද්ගලයින් දෙදෙනෙකු සැප්තැම්බර් 30 දින අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගල්කිස්ස පොලීසිය විසින් සිදුකරන ලද විමර්ශනයකට අනුව එක් පුද්ගලයෙකු මුලින් අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙක් පුද්ගලයා පොලීසිය පැමිණ භාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔක්තෝබර් 07 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
එම පුද්ගලයින් දෙදෙනා අවුරුදු 40 සහ 21 යන වයස්වල පසුවන ගල්කිස්ස රෂ්ටම්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි. ගල් ප්‍රහාරය එල්ල කරන අවස්ථාවේ ඔවුන් බීමතින් සිට ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර සිදුවීම පිටුපස දේශපාලන ගැටුමක් නොමැති බව ද අනාවරණය වී තිබෙන බව පොලීසිය සඳහන් කළා.
සැප්තැම්බර් 29 දින රාත්‍රී 09.30ට පමණ විපක්ෂනායකවරයා ගල්කිස්ස බංගලාව පාරේ නිවාස සංකීර්ණයක පැවැත් වූ ජනහමුවක් අමතමින් සිටින අවස්ථාවේ දී වේදිකාව දෙසට එම ගල් ප්‍රහාරය ප්‍රහාරය එල්ල වී තිබෙන බව පොලීසිය සඳහන් කළා.
මේ අතර, පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට සැප්තැම්බර් 30 දින එක් වෙමින් සමගි ජනබලවේගයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර සඳහන් කළේ විපක්ෂ නායකවරයාට රැස්වීමක් ඇමතීමට හෝ නොහැකි තත්වයක් දැන් රට තුළ උදා වී ඇති බවයි.
එම මාධ්‍ය හමුවට එක් වූ, පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න සඳහන් කළේ අදාළ ප්‍රහාරය එල්ල කිරීමට යොදා ගත් ගල් “මුල්ගල්” ලෙස භාවිතා කර එම ප්‍රදේශයේ ප්‍රජා ශාලාවක් හදා දෙන බවට සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කර ඇති බවයි.

