(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 01 පෙරවරු 09.25ට)
ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය වැනි කීර්තිමත් ආයතනයකට පැමිණීමට ලැබීම භාග්‍යයක් කොට සළකන බවත්, මෙවැනි නිසි විනයගරුක පරිසරයක් සහිත විශ්වවිද්‍යාලයකින්, ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ඉගෙන ගැනීමට බොහෝ දේ ඇති බවත් අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ මොහමඩ් අලි සබ්රි පැවසුවේ ය.
ඒ සැප්තැම්බර් 29 දින ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ආරාධිත දේශනයකට එම විශ්වවිද්‍යාලයට පැමිණි අවස්ථාවේ දී ය.
නීතිවේදී උපාධි අපේක්ෂකයින් විසින් කරන ලද ක්‍රියාකාරකම් හා නීති පීඨය මෙතෙක් අත්කරගෙන ඇති ප්‍රගතිය ද අධිකරණ අමාත්‍යවරයාගේ අවධානයට යොමු කිරීම සඳහා නීති පීඨය විසින් ඉදිරිපත් කිරීමක් ද කරන ලදී.
ඉන් අනතුරුව “ශ්‍රී ලංකාවේ නීති අධ්‍යාපනය සහ නීති වෘත්තිය: වර්තමාන සහ අනාගතය” පිළිබඳ ආරාධිත දේශනය සිදුකරමින් අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබ්රි පවසා සිටියේ ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ අධ්‍යයන කටයුතුවල ගුණාත්මකභාවය හා ප්‍රමිතීන් ඉතා උසස් තත්වයක පවතින බවයි. අධිකරණ අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ උසස් වෘත්තිකයින්ගේ දැනුම හා නිපුණතා අඛණ්ඩව වර්ධනය කිරීමේ අවශ්‍යතාවයක් පවතින බවයි.
ආරාධිත දේශනයට අමතරව අධිකරණ ඇමතිවරයා සහ විශ්වවිද්‍යාලයේ උපකුලපති මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් අතර සුහද හමුවක් ද පවත්වා තිබෙනවා. ඊට නියෝජ්‍ය උප කුලපති (පාලන හා ආරක්ෂක), බ්‍රිගේඩියර් එන්. හතුරුසිංහ, නියෝජ්‍ය උප කුලපති (අධ්‍යයන), මහාචාර්ය එ.එච්.ජේ. ආරියරත්න, නීති පීඨයේ පීඨාධිපති, ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය, නීතිඥ මංගල විජේසිංහ ඇතුළු පිරිසක් සහභාගී විය.

