ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ

20 වන සංශෝධනයට එරෙහි පෙත්සම්කරුවන් අධිකරණය හමුවේ දැක්වූ වැදගත් කරුණු මෙන්න

RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 01 පස්වරු 04.52ට)

අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි විසින් සැප්තැම්බර් 22 දින පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලැබූ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අභිගයෝගයට ලක් කරමින් මූලික අයිතිවාසිකම් පෙත්සම් 39ක් ඉදිරිපත් කරනු ලැබූ අතර සැප්තැම්බර් 29 දින එම පෙත්සම් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධීකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බැලීම ආරම්භ කරනු ලැබුවා.

  1. අගවිනිසුරු ජයන්ත ජයසූරිය
  2. විනිසුරු බුවනෙක අලුවිහාරේ
  3. විනිසුරු සිසිර ද ආබෲ
  4. විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන
  5. විනිසුරු විජිත් මලල්ගොඩ

යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම් සළකා බැලීම සිදුකරනු ලබන අතර සැප්තැම්බර් 29 හා 30 යන දෙදින තුළ පෙත්සම් 32ක් මගින් කරුණු ඉදිරිපත් කර තිබෙනවා.

එසේම එම පෙත්සම් මගින් වගඋත්තරකරු කර සිටින නීතිපතිවරයා ද සිය මූලික කරුණු දැක්වීම සිදුකරමින් 20 වන ව්‍යවස්ථා සංශෝධනයට සිදු කිරීමට නියමිත සංශෝධන කිහිපයක් ලිඛිතව අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවා.

මේ අතර, 20 වන සංශෝධනයට සහය දක්වමින් කරුණු දැක්වීමට අවසර ඉල්ලමින් අතරමැදි කිහිපයක් ද ඉදිරිපත්ව තිබෙනවා. ඒ පහත පාර්ශවවලිනි.

  1. අමාත්‍ය, නීතිය පිළිබඳ මහාචාර්ය ජී.එල්. පීරිස්
  2. අමාත්‍ය, නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා
  3. අමාත්‍ය ගාමිනී ලොකුගේ
  4. පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ සාගර කාරියවසම්
  5. පූජ්‍ය ඕමාරේ කස්සප හිමි
  6. එම්.දයාරත්න
  7. ඩබ්ලිව්.ඒ. ඩී. වීරතිලක
  8. පී. ජී. බී. අබේරත්න

පෙත්සම් විභාගය සැප්තැම්බර් 29 පෙරවරු 10.30ට පමණ ආරම්භ වූ අතර පෙත්සම්කරුවන් තම දේශන ඉදිරිපත් කරමින් අධිකරණය හමුවේ කරුණු දැක්විය.

ඉන්දික ගාල්ලගේ වෙනුවෙන් කරුණු දැක්වීම

20 වන සංශෝධනයට එරෙහිව මුල්ම පෙත්සම ඉදිරිපත් කරනු ලැබූ නීතිඥ ඉන්දික ගාල්ලගේ වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි නීතීඥ දර්ශන වේරදූවගේ කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේ, ජනාධිපතිවරයාගේ නිල කටයුතු මූලික අයිතිවාසිකම් පෙත්සම් හරහා නීතිය ඉදිරියේ අභියෝගයට ලක් කිරීම සඳහා ජනතාවට හිමිව තිබූ අවස්ථාව යෝජිත 20 වන සංශෝධන පනත් කෙටුම්පත තුළින් අහිමි කර ඇති බවයි. එමගින් ජනතාවගේ පරමාධිපත්‍ය බලය සෘජු ලෙස උල්ලංඝනය කිරීමක් සිදුවන බව නීතීඥ දර්ශන වේරදූවගේ පෙන්වා දුන්නා.

තවද, ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයින්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ ජනාධිපතිවරයා ලෙස තේරී පත් වීමට නොහැකි වන ආකාරයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය තුළින් හඳුන්වා දී ඇති සීමාව 20 වන සංශෝධන පනත් කෙටුම්පත තුළින් ඉවත් කර ඇති බව පෙන්වා දුන් නීතීඥ වේරදූවගේ කියා සිටියේ මේ තුළින් රටේ ජාතික ආරක්ෂාවට බරපතල තර්ජනයක් එල්ල වන බවයි.

එසේම, ජනාධිපති ලේකම් කාර්යාලය, අගමැති ලේකම් කාර්යාලය සහ රාජ්‍ය සමාගම් ගණනාවක් විගණනයෙන් ඉවත් කිරීම සහ විගණකාධිපතිවරයා ලෙස පත්වීම සඳහා පුද්ගලයෙකුට තිබිය යුතු සුදුසුකම් යනාදිය යෝජිත 20 වන සංශෝධන පනත් කෙටුම්පත මඟින් ඉවත් කර ඇති බවත්, ඒ හරහා මූල්‍ය පාලනයට අදාළව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් සහතික කර තිබෙන ප්‍රතිපාදන උල්ලංඝනය වන බව ද නීතීඥ වේරදූවගේ අධිකරණය හමුවේ පෙන්වා දුන්නා.

සමගි ජනබලවේගය වෙනුවෙන් කරුණු දැක්වීම

සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර වෙනුවෙන් පෙනී සිටි නීතීඥ සුරේන් ප්‍රනාන්දු අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙන්වා දුන්නේ යෝජිත 20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ අඩංගු වගන්ති බොහොමයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 03 වන වගන්තිය මඟින් සඳහන් කර තිබෙන ‘ජනතා පරමාධිපත්‍ය’ සමඟ සෘජුවම ගැටෙන හෙයින් එම වගන්ති සම්මත කිරීමට නම් ඒවා අනිවාර්යයෙන්ම ජනමත විචාරණයක් සඳහා යොමු කළ යුතු බවයි.

මෙම සංශෝධන කෙටුම්පත තුළින් එක් පුද්ගලයෙකු නීතියට ඉහළින් ඔසවා තැබීමට කටයුුතු කර ඇතැයි ද නීතීඥ සුරේන් ප්‍රනාන්දු එහිදී චෝදනා කළා. ස්වාධීන කොමිෂන් සභා, උපරිමාධිකරණ විනිසුරුවරුන්, නීතිපති, පොලිස්පති වැනි උසස් තනතුරු වලට පත් කිරීම් සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් හඳුන්වා දී තිබූ ‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව’ යෝජිත ව්‍යවස්ථා සංශෝධනය තුළින් කප්පාදුවට ලක්වන බවත් එවැනි උසස් නිලතල සඳහා පුද්ගලයින් පත් කිරීමේ පූර්ණ බලය ජනාධිපතිවරයා වෙත පවරා දී ඇති බවත් නීතීඥවරයා පැවසුවා.

යෝජිත 20 වන සංශෝධනය තුළින් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව යටපත් කරන තත්ත්වයක් දිස්වන බවත් මෙම සංශෝධන හරහා අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් සිය අභිමතය පරිදි ඉවත් කිරීමට ජනාධිපතිවරයා වෙත බලය පවරා දී ඇති බවත් නීතීඥ සුරේන් ප්‍රනාන්දු පෙන්වා දුන්නා. මේ හරහා ජනතා පරමාධිපත්‍ය බලය සහ නීතියේ ආධිපත්‍ය බරපතල ලෙස උල්ලංඝනය වන බව නීතීඥ සුරේන් ප්‍රනාන්දු වැඩිදුරටත් පෙන්වා දුන්නා.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය වෙනුවෙන් කරුණු දැක්වීම

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ එම්.ඒ.සුමන්තිරන් අධිකරණ හමුවේ කරුණු දක්වමින් චෝදනා කළේ, යෝජිත 20 වන සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති මගින් පාර්ලිමේන්තුව සතු ඇතැම් බලතල ජනාධිපතිවරයා වෙත පවරා දීමක් සිදු කර ඇති බවයි.

පාර්ලිමේන්තුව මඟින් ප්‍රතික්ෂේප කරනු ලබන පනත් කෙටුම්පතක් ජනමත විචාරණයක් සඳහා යොමු කළ හැකි වන ආකාරයේ බලයක් ජනාධිපතිවරයා වෙත මෙම සංශෝධන කෙටුම්පත තුළින් පවරා දී ඇති අතර එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි ද ඔහු කියා සිටියා.

ආර්. සම්බන්ධන් වෙනුවෙන් කරුණු දැක්වීම

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ කේ.කනගඊශ්වරන් සඳහන් කළේ යෝජිත 20 වන සංශෝධන පනත් කෙටුම්පත හරහා ව්‍යවස්ථාදායකයේ බලතල, අධිකරණයේ ස්වාධීනත්වය මෙන්ම නීතියේ ආධිපත්‍යයට ද දැඩි බලපෑමක් එල්ල වන බවයි.

20 වන සංශෝධන කෙටුම්පතට ගෙන ඒමට නියමිත සංශෝධන

පෙත්සම්වල වගඋත්තරකරු ලෙස නම් කර සිටි නීතිපතිවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ 20 වන සංශෝධන කෙටුම්පතට කාරක සභා අවස්ථාවේ දී සංශෝධන කිහිපයක් එක් කිරීමට රජය තීරණය කර ඇති බවයි. ඊට අදාළ සංශෝධන දැනටමත් මෝසමක් මගින් අධිකරණය වෙත ලිඛිතව ඉදිරිපත් කර ඇතැයි ද නීතිපතිවරයා සඳහන් කළා.

එම සංශෝධනවලට අනුව ජනාධිපතිවරයාගේ බලතල සහ කාර්ය යටතට මැතිවරණ කොමිෂන් සභාවේ ඉල්ලීම පරිදි ‘නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා උචිත වාතාවරණයක් ඇති කිරීම තහවුරු කිරීම සඳහා බලය ඇත්තේ ය’ යන වගන්ති ඇතුළත් කර තිබෙනවා.

එමෙන්ම 20 වන සංශෝධනය මඟින් පාර්ලිමේන්තුව වසරක් ඉක්ම වූ පසු විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය ලබා දී තිබුණ ද නව සංශෝධන මඟින් එම කාලය වසර 2 ක් හා මාස 6ක් දක්වා කාලයක් දීර්ඝ කර තිබෙනවා.

මේ අතර, එහි දැක්වෙන්නේ, නීතිපති, පොලිස්පති, පාර්ලිමේන්තු මහලේකම්, අගවිනිසුරු, අභියාචනාධිකරණයේ සභාපති, සියලු විනිශ්චයකාරවරුන්, අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජිකයින්, විගණකාධිපති, මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් යන තනතුරු ජනාධිපතිවරයා විසින් පත් කළ යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 (අ) ව්‍යවස්ථාවේ විධිවිධානවලට යටත්ව බවයි. අදාළ තනතුරු පත් කිරීමේ සෘජු බලය ජනාධිපතිවරයාට දැනට හිමිවන බව මීට පෙර 20 වන සංශෝධන කෙටුම්පත මඟින් යෝජනා කර තිබුණා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 (අ) ව්‍යවස්ථාව තුළ ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ බලතල පිළිබඳවයි.

එමෙන්ම, අග්‍රාමාත්‍යවරයාට ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබූ ලේකම්වරයකු සිටිය යුතු අතර ඔහු ‘අග්‍රාමාත්‍යවරයාගේ විධානයන් හා පාලනයට යටත්ව සේවය කළ යුතු’ බවට ද වගන්තියක් නව සංශෝධන තුළ ඇතුළත්.

20 වැනි සංශෝධනය අනුව අමාත්‍ය මණ්ඩලයේ කවර හෝ ඇමතිවරයෙකුට අයත් විෂයක් හෝ කාර්යයක් වෙනත් ඇමතිවරයෙකුට පැවරීමට ජනාධිපතිවරයා වෙත බලය හිමි කර දී තිබූ නමුත් එය අදාළ අමාත්‍යවරයා විසින් ම සිදු කළ යුතු බවටයි නව සංශෝධනයේ සඳහන් වන්නේ.

නව සංශෝධනයෙන් විගණකාධිපතිවරයා වෙත ජනාධිපතිවරයාගේ ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍යවරයාගේ ලේකම් කාර්යාලය ද ඇතුළුව අනෙක් සියලුම රාජ්‍යය ආයතන සහ සමාගම් විගණනය කිරීමේ බලය ද ලබා දී තිබෙනවා.

එමෙන්ම, මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් සංඛ්‍යාව 5ක් දක්වා වැඩි කළ යුතු බව ද නව සංශෝධන තුළ ඇතුළත් වෙනවා.

ජනාධිපති ලේකම්, අග්‍රාමාත්‍ය ලේකම්, පාර්ලිමේන්තුවේ මහලේකම් ඇතුළු තනතුරු දරන්නන් දිව්රුම් දෙන අවස්ථාවේ දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන බවට ලබා දෙන දිව්රුමට අමතරව මෙරට වෙනම රාජ්‍යයක් පිහිටුවීමට, ඊට ආධාර අනුබල ලබා දීම නොකරන බවට වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 7 වන උප ලේඛණයේ සඳහන් ප්‍රතිඥාව ද ලබා දිය යුතු බවට ද සංශෝධනයක් මෙහි ඇතුළත් වෙනවා.

කෙසේ වෙතත්, ද්විත්ව පුරවැසිභාවය ඇත්තෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයක් දැරීමට නොහැකිය යන වගන්තිය ඉවත් කිරීමට 20 වන සංශෝධනයෙන් කළ යෝජනාව නව සංශෝධනය තුළින් ද වෙනස් කර නොමැත.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් කරුණු දැක්වීම

ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාෆා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ, යෝජිත 20 වන සංශෝධන පනත් කෙටුම්පතේ අඩංගු ඇතැම් වගන්තිවලින් අධිකරණය ස්වාධීනත්වයට සහ මූලික අයිතිවාසිකම් කෙරෙහි අහිතකර බලපෑමක් සිදුකරන බවයි.

ජනතාවගේ අධිකරණ බලය පාර්ලිමේන්තුව සතු වන බවත් එම බලය අධිකරණය හරහා ක්‍රියාත්මක විය යුතු බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සඳහන් කර ඇතැයි පෙන්වා දුන් ජනාධිපති නීතිඥ මුස්තාපා සඳහන් කර සිටියේ මෙම 20 වන සංශෝධන පනත් කෙටුම්පත හරහා ජනතාව සතු අධිකරණ බලය පාර්ලිමේන්තුව වෙතින් ඉවත් කිරීමක් සිදුවන බව පෙනී යන බවයි. එබැවින්, අදාළ වගන්ති සම්මත කිරීම සඳහා තුනෙන් දෙකක බහුතරයට අමතරව ජනමත විචාරණයක් සඳහා ද යොමු කිරීම අත්‍යවශ්‍ය කරුණක් යැයි ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේ ය.

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් වෙනුවෙන් කරුණු දැක්වීම

පෙත්සමක් ඉදිරිපත් කළ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ පුලස්ති හේවාමාන්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ, යෝජිත 20 වන සංශෝධන පනත් කෙටුම්පතේ අඩංගු ඇතැම් වගන්තිවලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් සහතික කර තිබෙන ‘සිතීමේ නිදහස’ නමැති මූලික අයිතිවාසිකමට සීමා පැනවෙන බවයි.

ඊට අමතරව, යෝජිත පනත් කෙටුම්පත තුළින් ජනතාව සතු අධිකරණ බලය ද අත්තනෝමතික ලෙස අත්පත් කර ගැනීමක් සිදු වන බැවින් ඒ තුළින් ජනතා පරමාධිපත්‍යය බරපතල ලෙස උල්ලංඝනය වන බව ද සඳහන් කළා. එම පනත් කෙටුම්පත සෘජුවම ජනතා පරමාධිපත්‍යය සමඟ ගැටෙන හෙයින් එය සම්මත කිරීමට නම් අනිවාර්යයෙන්ම ජනමත විචාරණයක් සඳහා යොමු කළ බව නීතීඥවරයා තවදුරටත් පෙන්වා දුන්නා.

‘තරුණ නීතිඥ සංගමය’ වෙනුවෙන් කරුණු දැක්වීම

‘තරුණ නීතීඥ සංගමය’ නැමැති සංවිධානයක් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් බෝපගේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ, 19 වන ව්‍යවස්ථා සංශෝධනය මඟින් ස්ථාපිත කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක මණ්ඩලය සහ ස්වාධීන කොමිෂන් සභා අහෝසි කර එම බලය යළි විධායකය වෙත පැවරීම ජනතා පරමාධිපත්‍ය සෘජුවම උල්ලංඝනය කිරීමක් බවයි. ඒ හේතුවෙන්, අදාළ පනත් කෙටුම්පත සම්මත කිරීමට අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම ජනමත විචාරණයක් සඳහා යොමු කිරීම අත්‍යාවශ්‍යය බව ද නීතීඥ නුවන් බෝපගේ සඳහන් කළා.

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය වෙනුවෙන් කරුණු දැක්වීම

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ලක්ෂ්මනන් ජයකුමාර් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසූයේ, මැතිවරණයක් හෝ ජනමත විචාරණයක් පැවැත්වෙන අවස්ථාවක පුද්ගලික මාධ්‍ය ආයතන වෙත විවිධ විධානයන් නිකුත් කිරීමේ බලතල මෙම පනත් කෙටුම්පත තුළින් මැතිවරණ කොමිසම වෙත පවරා ඇති බවයි. එම වගන්තිය තුළින් “සිතීමේ නිදහස” නමැති මූලික අයිතිවාසිකම ඍජූවම උල්ලංඝනය වන අතර එම වගන්ති සම්මත කිරීමට නම් ඒවා ජනමත විචාරනයකට යොමු කළයුතු බව, නීතිඥවරයා අධිකරණයට පෙන්වා දුන්නේ ය.

එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් කරුණු දැක්වීම

එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රොනල්ඩ් පෙරේරා කරුණු දක්වමින් පැවසුවේ, ජනාධිපතිගේ නිල කාර්යයන්වලට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කිරීමට තිබූ අවස්ථාව අහිමි කිරීමට මේ පනත් කෙටුම්පතින් පියවර ගෙන තිබීම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 03 වන ව්‍යවස්ථාව මඟින් දක්වා තිබෙන ජනතා පරමාධිපත්‍යය බලය උල්ලංඝනය කිරීමක් වන බවයි.

එසේම, මෙම පනත් කෙටුම්පත හරහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, නීතිපති, විගණකාධිපති වැනි උසස් නිලතල සඳහා තමා කැමති පුද්ගලයෙකු පත් කිරීමේ බලය ජනාධිපතිවරයා වෙත පවරා දීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බරපතල අපගමනයක් සිදු වන බවට නීතීඥ රොනල්ඩ් පෙරේරා චෝදනා කළා.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ඉරාජ් ද සිල්වා සඳහන් කළේ, ජනතාවගේ ස්වෛරීභාවය යන සංකල්පයට හානී කිරීමක් සිදු කිරීමට කිසිවෙකුට හැකියාවක් නොමැති බවයි. ජනමතවිචාරණයක් පැවැත්වීමෙන් එවැන්නක් සිදු කළ නොහැකි බව නීතිඥ ඉරාජ් ද සිල්වා සඳහන් කළා.

ආචාර්ය අජන්තා පෙරේරා ඇතුළු සිව්දෙනෙකු වෙනුවෙන් කරුණු දැක්වීම

මේ අතර, ආචාර්ය අජන්තා පෙරේරා ඇතුළු පෙත්සම්කරුවන් සිව් දෙනෙකු වෙනුවෙන් කරුණු දක්වමින් නීතීඥ ක්‍රිෂ්මාල් වර්ණසූරිය ප්‍රකාශ කළේ, අමෙරිකාවේ පුරවැසිභාවය ලබා ගන්නා අයෙක් අමෙරිකාවට පක්ෂපාතීත්වය පළ කරමින් ලබා දෙන ප්‍රතිඥාව මඟින් අමෙරිකාවේ උන්නතිය වෙනුවෙන් වෙනත් ඕනෑම රටකට එරෙහිව කටයුතු කිරීමට දිවුරුමක් ලබා දෙන බවයි. යම්හෙයකින් එවැනි වෙනත් රටකට පක්ෂව දිවුරුමක් ලබා දුන් අයෙක්ට මෙරට පාර්ලිමේන්තුවට තේරී පත්විමට හෝ ජනාධිපතිවරයා බවට පත් වීමට ඇති ව්‍යවස්ථාපිත බාධාව ඉවත් කිරීම හරහා මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති මූලිකම කරුණක් වන මෙරට ජනතාවගේ ස්වෛරීභාවය බරපතල ලෙස උල්ලංඝනය බව නීතීඥවරයා පෙන්වා දුන්නා.

නීතීඥවරයා පැවසුවේ, ඕස්ට්‍රේලියාව, බංග්ලාදේශය, ප්‍රංශය, අමෙරිකා එක්සත් ජනපදය සහ ඉන්දියාව ද්විත්ව පුරවැසියන්ට ව්‍යවස්ථාදායකයට තේරී පත් නොදෙන රටවලට උදාහරණ බවයි. එසේ වුවත්, අසර්බයිජාන්, සෝමාලියාව, ආර්මේනියාව වැනි රටවල ව්‍යවස්ථාදායකය නියෝජනය කිරීමට ද්විත්ව පුරවැසිභාවය බාධාවක් නොවන අතර අප සිටිය යුත්තේ කුමන ලැයිස්තුවේදැයි අපම තීරණය කළ යුතු බව නීතීඥවරයා ප්‍රකාශ කළා.

රවුෆ් හකීම්ගේ කරුණු දැක්වීම

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ රවුෆ් හකීම් අධිකරණය හමුවේ සඳහන් කළේ තමා මෙම පනත් කෙටුම්පතට එරෙහිව පුද්ගලිකව පෙත්සමක් ඉදිරිපත් කරමින් ඒ සඳහා පෙනී සිටින බවයි. යෝජිත 20 වන සංශෝධන පනත් කෙටුම්පත මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව අහෝසි කිරීමෙන් විනිසුරුවරු ඇතුළු උසස් නිලතල සඳහා සිදු කරනු ලබන පත් කිරීම්වල පාරදෘශ්‍ය භාවය පිළිබඳව බරපතළ ගැටළු මතුවන බව නීතිඥ රවුෆ් හකීම් අධිකරණය හමුවේ පෙන්වා දුන්නේ ය.

එසේම, යෝජිත පනත් කෙටුම්පත මගින් ජනාධිපතිවරයා නීතියට ඉහළින් ඔසවා තැබීමක් සිදුවන බව ද පැවසූ රවුෆ් හකීම් පෙන්වා දුන්නේ, මෙම පනත් කෙටුම්පත සම්මත කිරීමට නම් එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සම්මත වීම ප්‍රමාණවත් නොවන බැවින් එය අනිවාර්යයෙන්ම ජනමත විචාරණයක් සඳහා යොමු කළ යුතු බවයි.

කීර්ති තෙන්නකෝන් වෙනුවෙන් කරුණු දැක්වීම

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ආණ්ඩුකාරවරයෙකු ලෙස පත් කළ කීර්ති තෙන්නකෝන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ශිරාල් ලක්තිලක අධිකරණය හමුවේ කියා සිටියේ, ජනාධිපතිවරයා වෙත සියලුම බලතල ඒකරාශී වීම නිසා ව්‍යවස්ථාදායක , විධායක සහ අධිකරණයෙහි බලතල සමතුලනය වීම වැළකී තිබෙන බවයි. මෙම සංශෝධන හේතුවෙන් පාර්ලිමේන්තුව සතු මූල්‍ය ස්වෛරීභාවය නැති වීමක් ද සිදුවන බව පැවසූ නීතිඥ ශිරාල් ලක්තිලක සඳහන් කළේ එමගින් අධිකරණයේ සහ ව්‍යවස්ථාදායකයේ ස්වාධීනත්වය නැතිව ගොස් එම ආයතනය ජනාධිපතිවරයාගේ බලය යටතට වැටීමක් ද සිදුවන බවයි.

නීතිපතිවරයා ඉදිරිපත් කළ සංශෝධනවල වලංගුතාවයක් නොමැති බව නීතිඥවරයෙකු කියයි

පෙත්සම්කාර පාර්ශ්වයක් වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ නීතිඥ විරාන් කොරයා ප්‍රකාශ කළේ නීතිපතිවරයා විසින් අධිකරණය වෙත ලබාදුන්, කාරක සභා අවස්ථාවේ දී සිදු කිරීමට නියමිත බව පැවසූ සංශෝධන 53 ක් ඇතුළත් ලියවිල්ල කිසිදු නෛතික වලංගුභාවයක් හෝ බැඳීමක් නොමැති ලියවිල්ලක් බවයි.

එසේම පාර්ලිමේන්තුවේ සිදුවන කටයුතු සම්බන්ධයෙන් පොරොන්දු හෝ සහතික ලබාදීමට නීතිපතිවරයාට කිසිදු හැකියාවක් නොමැති බවත්, පාර්ලිමේන්තුව එම පොරොන්දු ක්‍රියාත්මක කිරීමට බැඳී නොමැති බවත් පෙන්වා දෙන නීතිඥවරයා අධිකරණය හමුවේ අවධාරණය කළේ කාරක සභා මට්ටමේදී සිදු කිරීමට යෝජිත සංශෝධන සම්බන්ධයෙන් නීතිපතිවරයා ලබාදෙන පොරොන්දු පිළිගැනීමට අධිකරණයට නොහැකි බවයි.

වැඩිදුර පෙත්සම් විභාගය ඔක්තෝම්බර් 02 පෙරවරු 09.30 දක්වා කල් තැබීමට අගවිනිසුරුවරයා නියම කළේ ය.

වැඩිදුර කියවන්න

20 වන සංශෝධන කෙටුම්පතට එරෙහි පෙත්සම් ගැන ඔබ දැන ගත යුතු දේ මෙන්න

Rivira FB Group Rivira Youtube
To Top