,
Covid-19

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට හා බිරිඳට කොරෝනා ආසාදනය වෙයි

RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 02 පෙරවරු 11.10ට)

ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ බිරිඳ මෙලනියා ට්‍රම්ප්, කොවිඩ්-19 වෛරස් ආසාදිතයින් බව තහවුරු වී තිබෙනවා.

ඔක්තෝම්බර් 02 සිකුරාදා ට්විටර් පණිවඩුයක් යොමු කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ තමා සහ ජනාධිපති ආර්යාව වන මෙලනියා ට්‍රම්ප් කොරෝනා වෛරසය සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කර ඇති අතර නිරෝධායනයට ලක් වී සිටින බවයි.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමීපතම සහායකයකු වන 31 හැවිරිදි ජනාධිපති උපදේශකයෙකු වන හොප් හික්ස් කොරෝනා ආසාදිතයෙකු බව පසුගිය දා හඳුනාගෙන තිබුණා. ඒ අනුව පසුගිය සතියේ ඔහියෝ හී පැවති විවාදයකට ඇය සමග “එයා ෆෝස් 01” ගුවන් යානයේ ගමන් කළ ජනාධිපතිවරයා ද මෙලෙස ආසාදිත වී ඇති බව හඳුනාගෙන තිබෙනවා.

ට්‍රම්ප්ගේ වෛද්‍යවරයාගෙන් මාධ්‍යවේදීන් කළ විමසීමක දී ඔහු රෝග ලක්ෂණ සම්බන්ධයෙන් පැවසීමකින් තොරව ජනාධිපතිවරයා “හොඳින්” සිටින බවත්, ජනාධිපතිවරයා ධවල මන්දිරයේ දැනට හුදෙකලා වී සිටින බවත් පවසා තිබෙනවා.

මේ වනවිට ඇමරිකා එක්සත් ජනපදයේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 7,494,671ක් වන අතර ඉන් 212,660ක පිරිසක් මරණයට පත් වී තිබෙනවා.

Rivira Ads
To Top