දේශීය පුවත්

‘සෑම පළාතකටම ළමා රෝහලක් ඉදිවිය යුතුයි’ – අගමැති මහින්ද රාජපක්ෂ

(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 02 පස්වරු 02.25ට)

සෑම පළාතකටම ළමා රෝහලක් ඉදිවිය යුතු බව තමන් තරයේ ම විශ්වාස කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සඳහන් කරයි.

කොළඹට සහ මහනුවරට පමණක් දැනට සීමා වන ළමා රෝහල් මින් ඉදිරියට එක් පළාතකට එක් ළමා රෝහලක් ලෙස සංවර්ධනය කොට පවත්වාගෙන යෑම පිළිබඳව රජයේ අවධානය යොමු වී ඇතැයි ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කරයි.

අගමැතිවරයා මේ බව සඳහන් කළේ ලෝක ළමා දිනය හා රිජ්වේ ආර්යා ළමා රෝහලට වසර 125ක් සැපිරීමට සමගාමීව මහල් නවයකින් යුතු දැඩි සත්කාර හා ශල්‍ය වාට්ටු සංකීරීණයට මුල් ගල තැබීම සහ ඇට මිදුළු බද්ධ කිරීමේ ඒකකය හා නව ශල්‍යාගාර සංකීර්ණය විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් ය.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ නිල වෙබ් අඩවිය අන්තර්ජාලයට මුදා හැරීම සහ ඩිජිටල් සායන ක්‍රම ස්ථාපනය කිරීමට ද අග්‍රාමාත්‍යවරයා අතින් සිදු විය.

හෙද නිලධාරී ජී.එච්.ජේ හේවගේ විසින් රචිත කළුවර අහසට සඳ පායලා කෘතිය අගමැතිතුමා වෙත පිළිගැන්වීම හා ලිට්ල් හාට් අරමුදලට සුජිකල් නිෂ්පාදන පෞද්ගලික ආයතනයේ සභාපති කලන හේවා මල්ලිකා විසින් රුපියල් ලක්ෂ හතක මුදලක් පරිත්‍යාග කිරිම ද එම උත්සවයට සමගාමීව සිදු විය.

එම අවස්ථාවේ දී, උත්සවය අමතමින් අගමැතිතුමා මෙසේ ද පැවසුවේය.

‘රාජ්‍ය ළමා දින සැමරුම් උත්සවය එක්ක ළමා රෝහලට එන්න පුළුවන් වීම ගැන මම සංතෝෂ වෙනවා. අද විශේෂඥ වෛද්‍යවරු එකතුවෙලා රෝහල් අධ්‍යක්ෂකතුමාගේ උනන්දුව ඇතුළු, කාර්යය මණ්ඩලයේ උනන්දුව ඇතුළු, ශෛල්‍යාගාර දෙකක් විවෘත කරන්න ලැබුණා. මම හිතන්නේ ඒ තුළින් විශාල සේවයක් සිදුවෙනවා.

දැනට ළමා රෝහල් තියෙන්නේ දෙකයි. ඒ මෙහෙත්, නුවරත්. ළමා රෝහල් අඩු ගානේ පළාතකට එකක් වශයෙන් සකස් විය යුතු යැයි අපේ රජය තරයේ විශ්වාස කරනවා. කෙසේ වෙතත් අද දරුවන්ගේ නිරෝගීකම වැදගත්. දරුවෝ තමයි අනාගතයේ අපේ රට භාර ගන්න ඉන්න නායකයින්. දරුවන් ආරක්ෂා කිරීම අපේ කාර්යය භාරයක් වෙනවා.

පාසල්වලට අපේ විශේෂඥ වෛද්‍ය පාදෙණිය මහත්මය කැඳ දෙන්න සූදානම් වෙලා තියෙනවා. අපිත් අධ්‍යාපන ඇමතිතුමාට යෝජනා කරනවා සෑම දරුවෙකුටම කැඳ වීදුරුවක් වගේ ශක්තිමත් පානයක් ලබා දීමට පියවර ගන්න කියලා. අපේ කාලය තුළ දී දරුවන් පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරමින් අපි කටයුතු කරන්න සූදානම් බව මතක් කළ යුතුව තියෙනවා.

රිජ්වේ ළමා රෝහලේ අධ්‍යක්ෂකතුමා, විශේෂඥ වෛද්‍යවරු ඇතුළු කාර්යය මණ්ඩලයේ සියලු දෙනාට මේ කටයුතු විධිමත්ව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අපි ස්තූතිවන්ත වෙනවා. මේ මොහොතේ දී ඔවුන්ගේ විශිෂ්ට සේවය මම අගය කරනවා. ඔබ අතින් ඉටුවන්නේ අපේ අනාගත පරපුර රැක ගැනීමේ කාර්යභාරය’ යැයි අගමැතිතුමා පැවසුවා.

අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් මේජර් ජනරාල් සංජීව මුණසිංහ, රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය, විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍ය කාර්යය මණ්ඩලය හා දෙමාපිය දූ දරුවන් ඇතුළු සම්භාවනීය අමුත්තන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා.

Rivira FB Group Rivira Youtube
To Top