(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 03 පෙරවරු 10.28ට)
කොව්ඩ් වෛරසය ආසාදිත බවට තහවුරු වී පැය 24ක් ඉක්ම යාමට මත්තෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රෝහල්ගත කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ජනාධිපතිවරයා ‘දැඩි වෙහෙසකර තත්වයකට හා හුස්ම ගැනීමේ අපහසුතාවයෙන්’ පෙළෙන බවයි ඔහුගේ උපදේශකවරයෙක් විදෙස් මාධ්‍ය වෙත වාර්තා කර තිබුණේ.
ධවල මන්දිරයේ සිට හෙලිකොප්ටර් යානාවක් මඟින් ජනාධිපතිවරයා වෝල්ටර් රීඩ් රෝහල වෙත ගොස් ඇති අතර ජනාධිපති ට්‍රම්ප් මුඛ ආවරණයක් පැළද ධවල මන්දිරයේ සිට “මැරීන් වන්” හෙලිකොප්ටරය වෙත ඇවිද ගෙන යන අයුරු සහ ඈතින් රැස්ව සිටි මාධ්‍යවේදීන් වෙත හස්ත සංඥාවෙන් තමන් හොදින් බවට දැක්වෙන සංඥාවක් සිදුකළ අයුරු දක්නට ලැබුණ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
රෝහලට යෑමට පෙර ඔහු වීඩියෝ පණිවිඩයක් නිකුත් කර තිබූ අතර, එහි තමා යහපත් සෞඛ්‍ය තත්ත්වයේ පසුවන බවට විශ්වාස කරන බවත් තමාට උදව් කළ සියලු දෙනාට ස්තුතිය පළ කරන බව ද ජනාධිපති ට්‍රම්ප් එහිදී පවසා ඇත.
ධවල මන්දිරය වාර්තා කරන පරිදි ජනාධිපතිවරයා වෝල්ටර් රීඩ් හමුදා රෝහලේ සිට සිය රාජකාරි කටයුතු සිදුකිරිමට නියමිත අතර මෙතෙක් ජනාධිපතිවරයා විසින් උප ජනාධිපති මයික් පෙන්ස් හට බලය පැවරීමක් සිදුකොට නොමැති බව ද සඳහන් වේ.

