දේශීය පුවත්

මිනුවන්ගොඩ හා දිවුලපිටියේ සිටින ආරක්ෂක හමුදා සාමාජිකයින්ට දැනුම් දීමක්

(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 04 පස්වරු 03.03ට)

මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ප්‍රදේශවල සිටින යුද, ගුවන්, නාවික සහ සිවිල් ආරක්ෂක බලකායන්හි රාජකාරි කරන සියලුම නිලධාරීන්ට නැවත දැනුම් දෙන තුරු රාජකාරි ස්ථාන වලට රපෝර්තු නොකරන ලෙසට ආයතන ප්‍රධානින් වෙත දන්වා ඇති බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද හමුදාධිපති සහ කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ශවේන්ද්‍ර සිල්වා පවසයි.

එමෙන්ම, ඉහත ප්‍රදේශ දෙක හැර ගම්පහ දිස්ත්‍රික්කය තුළ සිටින අනෙකුත් අයවලුන් ඔක්තෝම්බර් 05 වන සඳුදා දින පමණක් රාජකාරි සඳහා රපොර්තු නොකරන ලෙසත් තවද කඳවුරු තුළ එම ප්‍රදේශවල සිටින අයවලුන් කඳවුරු තුළම රඳවාගන්නා ලෙසටත් වැඩිදුරටත් උපදෙස් දී තිබෙනවා.

මේ අතර, කැළණිය විශ්වවිද්‍යාලය, නයිවල උසස් තාක්ෂණ ආයතනය සහ ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද ආයතනයද තාවකාලිකව වසා දැමීමට කටයුතු කර තිබෙනවා.

එමෙන්ම, මහර සහ මීගමුව බන්ධනාගාරවලට රැඳවියන් බැලීමට අමුත්තන් පැමිණීමද තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇති බව බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය සඳහන් කරයි.

තවද, ගුවන් තොටුපල තුළ පිහිටි පැමිණීමේ සහ පිටවීමේ පර්යන්තයේ ඇති ආලින්දවලටද ගුවන් මගීන් සමඟ පැමිණෙන අමුත්තන්ට පිවිසීම තාවකාලිකව නතර කර තිබෙනවා. ඒ හා සමගාමීව ගුවන් තොටුපල මහජන ක්‍ෂේත්‍ර මණ්ඩපයද තාවකාලිකව වසා දමා ඇති බව ගුවන් තොටුපල කාර්යභාර නිලධාරිවරයා සඳහන් කරයි.

Rivira FB Group Rivira Youtube
To Top