(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 04 පස්වරු 06.09ට)
කොරෝනා ආසාදිත බවට තහවුරු වූ දිවුලපිටියේ පදිංචි කාන්තාවගේ දියණියට ද කොරෝනා වෛරසය ආසාදිත වී ඇති බවට තහවුරු වී තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව සඳහන් කරයි.
මෙම ආසාදිත කාන්තාවගේ පවුලේ සාමාජිකයින් වන සැමියා , දරුවන් සිව්දෙනා හා පියා ඔක්තෝම්බර් 04 වැනි දින හබරාදූව නිරෝධායන මධ්‍යස්ථානයේ දී පී.සී. ආර්. පරීක්ෂණවලට යොමු කර තිබෙනවා. එම පරීක්ෂණවල ප්‍රතිඵල අනුව, 16 හැවිරිදි ඇගේ දියණියට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. එසේම, පවුලේ අනෙක් සාමාජිකයින් පස්දෙනාට වෛරසය ආසාදනය වී නොමැති බවටයි තහවුරු වී තිබෙන්නේ. කෙසේ වෙතත්, ඔවුන් 05 දෙනා සදහා දෙවැනි වතාවට ද පි. සි.ආර් පරික්ෂණ සිදුකිරිමට කටයුතු කරන බව හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ප්‍රමොද සිරිවර්ධන පවසනවා.
ඒ අනුව, වෛරසය ආසාදිත බවට තහවුරු වූ 16 හැවිරිදි දියණිය මේ වන විට හබරාදූව නිරෝධායන මධ්‍යස්ථානයේ සිට කොළඹ අයි.ඩී.එච් රෝහල වෙත රැගෙන ඒමට කටයුතු සිදු කරමින් පවතින බව ද වාර්තා වනවා.
මේ අතර, ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචි කිසියම් පුද්ගලයෙකු උණ රෝගයෙන් පෙළෙන්නේ නම් වහාම ළඟම පිහිටි රෝහල වෙත ගොස් පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු වන ලෙස වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය එස්. ශ්‍රීධරන් උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.

