(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 05 පෙරවරු 10.25ට)
මේ වන විට, වේයන්ගොඩ, දිවුලපිටිය සහ මිනුවන්ගොඩ වන පොලිස් බල ප්‍රදේශවලට පැනවු ඇඳිරි නීතිය මේ වන විට ක්‍රියාත්මක වන අතර ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් දස දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇතැයි ද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.
මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිත කාන්තාවක් හඳුනාගැනීමත් සමග ඔක්තෝම්බර් 04 වැනි ඉරිදා දහවල් සිට දිවුලපිටිය සහ මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශවලට ඇඳිරි නීතිය පැනවිමට පියවර ගැනුණි.
දැනට සිදුකරනු ලබන විශ්ලේෂණ අනුව, කෙරෝනා වෛරසයේ ව්‍යාප්තියක් වාර්තා වුවහොත් වෙනත් පළාත්වලට ද ඇඳිරි නීතිය පැනවීම සම්බන්ධයෙන් තීරණය කරනු ඇතැයි ද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වැඩිදුරටත් සඳහන් කරයි.
එමෙන්ම, ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා, ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන පොලිස්බල ප්‍රදේශ හරහා වාහනවලින් ගමන් කළ හැකි වුවත් එම ප්‍රදේශවලදී වාහන නතර කිරීම් කළ නොහැකි බව ද සඳහන් කළේය. එවැනි වාහනවලට පොලිස් වසම් හරහා ගමන් කළ හැකි වන අතර, මගීන් බැස්සවීම හා නග්ගා ගැනීම කිසිදු අවස්ථාවක සිදුකළ නොහැකිය.
මේ අතර, ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර ඇති පොලිස්බල ප්‍රදේශවල නැවත දැනුම් දෙන තුරු කඩ සාප්පු වසා තැබිය යුතු බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා දැනුම් දෙයි.
යම් පුද්ගලයෙකුට හදිසි අසනීප තත්ත්වයක් ඇති වුවහොත් ඇඳිරි නීති බලපත්‍රයක් නොමැතිව රෝහලක් වෙත රැගෙන යා හැකි බවත් සඳහන් කරන නියෝජ්‍ය පොලිස්පතිවරයා, කෙසේවෙතත් කිසියම් පුද්ගලයෙකුට කොරෝනා වෛරසයට අදාළ යම් රෝග ලක්ෂණයක් තිබේ නම් වහාම නිවසේ සිට සෞඛ්‍ය අංශ දැනුවත් කරන ලෙස ඉල්ලීමක් ද සිදු කරයි.

