(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 05 පස්වරු 01.48ට)
කොවිඩ්-19 වෛරසයේ දැඩි බලපෑමක් ශ්‍රී ලංකාවට එල්ල වෙමින් පවතිනවා. රට තුළ දෙවන කොරෝනා රැල්ල මේ වන විට මතු වී තිබෙන අතර මෙවර සමාජයෙන් ආසාදිතයින් හමු වී තිබෙනවා. ඒ බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරට අදාළව මේ වනවිට ආසාදිතයින් 71 දෙනෙක් හමුවීමත් සමගයි. ඊට දිවුලපිටියේ කාන්තාව හා ඇගේ දියණිය ද ඇතුළත්.
මේ අතර, පසුගිය අගෝස්තු මස 18 දින ඩුබායි සිට ශ්‍රී ලංකාවට පැමිණි ආණමඩුව තෙන්නන්කුරියා ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයකු තුන්වන වරටත් කෝවිඩ්-19 ආසාදිතයකු බව තහවුරු වී ඇති බව වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එම්. ෆරිඩ් සඳහන් කළා.
එම තරුණයා අගෝස්තු 18 දින මෙරටට පැමිණීමෙන් අනතුරුව මුල්වරට කෝවිඩ්-19 ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන වැලිකන්ද රෝහලට ඇතුළත් කර තිබෙනවා.
එහිදී සුවය ලබා නිවසට පැමිණ ස්වයං නිරෝධායනයට ලක් වී සිටි තරුණයාට දෙවනවරටත් රෝග ලක්ෂණ පෙන්වීම හේතුවෙන් ප්‍රදේශයේ සෞඛ්‍ය අංශ විසින් සැප්තැම්බර් 17 වන දින හලාවත රෝහලට ඇතුළත් කර තිබෙනවා. එහිදී සිදුකළ පීසිආර් පරීක්ෂණයකින් එම තරුණයා යළිත් කෝවිඩ්-19 ආසාදිතයෙකු බව තහවුරු වී ඇති අතර ඉරණවිල රෝහලට ඇතුළත් කර ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කළා. එහිදී ප්‍රතිකාර ලබා නැවත නිවසට පැමිණ ස්වයං නිරෝධානයට ලක් වෙමින් සිටි තරුණයට ඔක්තෝම්බර් 02 දිය යළිත් වරක් රෝග ලක්ෂණ මතුව තිබීම හේතුවෙන් හලාවත රෝහලට නැවත ඇතුළත් කර තිබෙනවා.
එහිදී කළ පීසීආර් පරීක්ෂණයේ දී 03 වන වරටත් එම තරුණයා ආසාදිත බව හඳුනාගෙන තිබෙනවා. මේ වන යළිත් එම තරුණයාව ප්‍රතිකාර සඳහා රෝහල්ගත කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබෙනවා.
ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසන්නේ අදාළ තරුණයා නිසි නිරෝධායන ක්‍රමවේදයන් අනුගමනය කරමින් ඔහු පදිංචි නිවස තුළ රඳවා නිරෝධායනයට ලක් කළ බවයි.
කෙසේ වෙතත්, දැනට ලැබී ඇති තොරතුරු අනුව මෙලෙස තෙවරක් කොවිඩ්-19 ආසාදනය වූ රෝගියෙකු ශ්‍රී ලංකාවෙන් වාර්තා වන්නේ ප්‍රථමවරට බව හලාවත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළා.

