කොවිඩ්-19

දිවුලපිටියේ පාසල් දරුවන් 1500ක් පමණ ස්වයං නිරෝධායනයට

(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 05 පස්වරු 02.13ට)

කොවිඩ් – 19 වෛරසය ආසාදිත බවට තහවුරු වූ දිවුලපිටිය කාන්තාවගේ කෝවිඞ්-19 ආසාදිත 16 හැවිරිදි දියණිය අධ්‍යාපනය ලැබු දිවුලපිටිය පාසලේ දරුවන් 1,500දෙනෙකු පමණ ස්වයං නිරෝධායනයට යොමුකළ බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසයි.

එම පාසලේ විදුහල්පතිවරයා විසින් එම සියලු දරුවන්ගේ පෞද්ගලික ලිපින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙත ලබා දී ඇති බව පැවසූ උපුල් රෝහණ සඳහන් කළේ ඒ සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විශාල පිරිසක් දරුවන්ගේ නිරෝධායන කටයුතු සඳහා යොදවා ඇති බවයි.

කෝවිඩ්-19 වෛරසය ආසාදිත සිසුවිය ඉගෙනුම ලැබු 11 ශ්‍රේණියේ සියලු දරුවන්, සියලු ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයන් ඔක්තෝම්බර් 05 වන සඳුදා දින පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු කිරීමට නියමිත බව ද උපුල් රෝහණ සඳහන් කරයි.

මෙම සියලු කාර්යයන් සදහා දිවුලිපිටිය හා මිනුවන්ගොඩ ප්‍රදේශ වෙත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 50 ට ආසන්න පිරිසක් සේවයේ යොදවා ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

එසේම මෙම බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරට අදාළව නිරෝධායනයට යොමු කළ පිරිස 2,500කට අධික බව සෞඛ්‍ය අංශ පවසනවා. ඉන් බොහොමයක් නිවෙස් නිරෝධායනයට ලක් කර ඇති අතර ආසාදිතයින්ගේ පවුල්වල සාමාජිකයින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවරගෙන ඇති බව ද සෞඛ්‍ය අංශ පවසනවා.

Rivira FB Group Rivira Youtube
To Top