,
Covid-19

යාපනයේ හා මොණරාගල ගිය කාන්තාවන් දෙදෙනෙකුටත් කොරෝනා – යුද හමුදාපති

(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 05 පස්වරු 06.15ට – යාවත්කාලීන කිරීම පස්වරු 06.40ට)

බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරට අදාළව එම ආයතනයේ තවත් සේවිකාවන් දෙදෙනෙකුට ද වෛරසය ආසාදනය වී ඇති බව යුද හමුදාපති, ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අනාවරණය කරනවා.

එක් කාන්තාවක් මොනරාගල ප්‍රදේශයේ පදිංචි අයෙකු වන අතර අනෙක් කාන්තාව යාපනය, පුන්කුඩිතිව් හී පදිංචිකාරියක වන බව යුද හමුදාපතිවරයා සඳහන් කළා.

යාපනයේ පදිංචි ඇඟළුම් ආයතනයේ සේවිකාවන් දෙදෙනෙකු නිවාඩු ලබා යාපනයට පැමිණ ඇති අතර ඔවුන්ව ස්වයං නිරෝධායනයට ලක් කිරීමට යාපනය සෞඛ්‍ය බලධාරීන් පියවරගෙන තිබුණා. ඒ අය සම්බන්ධයෙන් යාපනය මහරෝහලේ දී සිදුකළ පීසීආර් පරීක්ෂණයේ දී එක් අයෙකු කොරෝනා ආසාදිත බව තහවුරු වූ බව යාපනය රෝහලේ අධ්‍යක්ෂවරයා පවසා සිටියා.

මොනරාගල පදිංචි කාන්තාව ඇඟළුම් ආයතනයෙන් නිවාඩු ලබා මොණරාගල ප්‍රදේශයට පැමිණ ඇති බව ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කර තිබෙනවා. එම අවස්ථාවේ අදාළ කාන්තාව මොණරාගල බස්නැවතුම්පොළ, ඉරිදා පොළ, කච්චේරි හන්දිය සහ රජයේ බැංකුවකට ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව ද සෞඛ්‍ය අංශ සඳහන් කරනවා. ඒ අනුව ඇයගේ ආශ්‍රිතයින් සොයා තවදුරටත් පරීක්ෂණ සිදුකරන බව ද වාර්තා වේ.

මේ අතර, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් ආයතනයට ඉන්දියානුවන් දෙදෙනෙක් ඇවිත් ගිය බවට පළවන කටකතා සම්බන්ධයෙන් මෙතෙක් තහවුරු වූ කිසිදු තොරතුරක් ලැබී නොමැති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කළා. ඔහු කියා සිටියේ ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ සහ පොලිසිය විමර්ශන සිදුකරමින් පවතින බවයි.

Rivira Ads
To Top