,
Covid-19

ප්‍රතිකාර මග හරින රෝගීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නවා – සෞඛ්‍ය අමාත්‍යවරිය නිවේදනය කරයි

(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 07 පෙරවරු 10.15ට)

ප්‍රතිකාර සේවා සඳහා යොමු නොවී මඟ හැර සිටීම නිරෝධායන පනත යටතේ වරදක් බැවින්, එසේ සිදු කරන අයට එරෙහිව නීතිමය පියවර ගැනීමට සිදුවන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පවසනවා.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොවිඩ්-19 ආසාදිතයින් විශාල පිරිසක් වාර්තා වීමත් සමඟ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ගම්පහ දිස්ත්‍රික්කය තුළ රෝගීන් හඳුනා ගැනීම සඳහා PCR පරීක්ෂණ සිදු කරනු ලබන අතර එහිදී රෝගීන් බවට තහවුරු වූ පිරිස් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත රැගෙනයාම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඔවුන්ගේ නිවෙස් වෙත ගිලන් රථ සේවා ලබාදීමට පියවර ගෙන ඇති බව අමාත්‍යවරිය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

නමුත් ඇතැම් පිරිස් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යාම ප්‍රතික්ෂේප කරන බවට වාර්තා වී ඇති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

ශ්‍රී ලාංකික ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව ගැන සලකා සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් නිවෙස් වෙත යොමු කරනු ලබන ගිලන් රථ මගින් ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යාමට පියවර ගන්නා ලෙසට තමන් රෝගී ජනතාවගෙන් කරුණිකව ඉල්ලා සිටින බව ද අමාත්‍යවරිය සඳහන් කරනවා.

එසේම, මෙම තත්වය හමුවේ යුද හමුදාවද අදාළ කටයුතු සඳහා යොදවා ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති, ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළා.

Rivira Ads
To Top