(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 07 පස්වරු 05.13ට)
රට තුළ නැවත පවතින කොවිඩ් – 19 වෛරසය පැතිර යාමේ අවදානම සැලකිල්ලට ගනිමින් පළාත් කිහිපයක සහ දිස්ත්‍රික්ක කිහිපයක උපකාරක පැවැත්වීම නැවත දැනුම් දෙන තුරු නවතා දැමීමට පළාත් ආණ්ඩුකාරවරු නියෝග කර තිබෙනවා.
ඒ අනුව, ඔක්තෝම්බර් 07 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි උතුරු මැද පළාතේ අනුරාධපුර සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්කවල සියලුම උපකාරක පන්ති පැවැත්වීම නතර කිරීමට උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් උපදෙස් දී ඇත.
එමෙන්ම, වයඹ පළාතේ ද සියලුම උපකාරක පන්ති පැවැත්වීම අත්හිටුවීමට පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ නියෝග කර තිබෙනවා. ඒ අනුව, වයඹ පළාතට අයත් කුරුණෑගල, කුලියාපිටිය, පුත්තලම,හලාවත, නාරම්මල, ආදී ප්‍රධාන නගර ඇතුළු නගර ඇතුළත්ව පළාතේ සෙසු ස්ථානයන්හි පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීම සම්පූර්ණයෙන් තහනම් කර ඇත.
එසේම, දකුණු පළාතේ සියලුම පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වෙන ආයතන ඔක්තෝම්බර් 07 වන දින සිට නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව වසා තැබීමට නියෝග කළ බව දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ සඳහන් කරයි. ඒ අනුව ගාල්ල, මාතර, හම්බන්තොට යන ප්‍රධාන නගරවල සහ පළාතේ සෙසු ස්ථානයන්හි පවත්වාගෙන යනු ලබන සියලුම උපකාරක පන්ති පැවැත්වීම නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා තිබෙනවා.
නැගෙනහිර පළාතේ හා මධ්‍යම පළාතේ ද නැවත දැනුම්දෙන තුරු උපකාරක පන්ති නොපැවැත්විය යුතු බවට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් සහ මධ්‍යම පළාතේ ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ නියෝග කර තිබෙනවා.
තවද, නැවත දැනුම් දෙනතුරු රත්නපුර දිස්ත්‍රික්කයේ උපකාරක පන්ති නොපැවැත්වීමට සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව සහ රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම ප්‍රධානත්වයෙන් පැවති රත්නපුර දිස්ත්‍රික් කොරෝනා වෛරස් මර්දන කාර්යය කාධක බලකා කමිටු රැස්වීමේ දී තීරණය කර ඇත.
මීට අමතරව, ඔක්තෝම්බර් 04 වන දිනයේ සිට කොළඹ දිස්ත්‍රික්කයේ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ උපකාරක පන්ති පැවැත්වීම නැවත දැනුම් දෙන තුරු අත්හිටුවීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නියෝග කරන ලදී.

