,

පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයේ නිලධාරියෙකුගේ පවුලේ අයෙකුට කොරෝනා නෑ, ඇත්ත මෙන්න

(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 08 පස්වරු 12.34ට, යාවත්කාලීන කිරීම පස්වරු 01.15ට)

බත්තරමුල්ල, පැලවත්ත ප්‍රදේශයේ පිහිටා තිබෙන ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයේ පාර්ලිමේන්තු කටයුතු අංශයේ සේවකයෙකුගේ පවුලේ අයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට පාර්ලිමේන්තුවේ දී සිදු වූ අනාවරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කටයුතු අංශයේ අතිරේක ලේකම් එච්.ඩි.එස්. මල්කාන්ති කරුණු පැහැදිලි කර සිටියා.

අතිරේක ලේකම්වරිය අනාවරණය කළේ තම අමාත්‍යංශයේ කිසිඳු නිලධාරියෙකුට හෝ එම නිලධාරියෙකුගේ පවුලේ අයෙකුට වෛරසය ආසාදනය වී නොමැති බවයි. එසේම එක් සේවකයෙකුගේ පවුලේ හිතවතෙකු බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයෙකු බව වාර්තා වීමත් සමග පිටස්තර පුද්ගලයින් ආයතන පරිශ්‍රයට පැමිණීම සීමා කිරීමට පියවරගත් බව අතිරේක ලේකම්වරිය සඳහන් කළා.

එහෙත්, අමාත්‍යංශයේ සේවකයින් සාමාන්‍ය පරිදි සේවා කටයුුතු පවත්වාගෙන යනු ලබන බව ද අතිරේක ලේකම්වරයා පැවසුවා.

පාර්ලිමේන්තු කටයුතු අංශයේ සේවකයෙකුගේ පවුලේ අයෙකුට කොරෝනා (පස්වරු 12.34 වාර්තාව)

බත්තරමුල්ල, පැලවත්ත පිහිටි පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයේ නිලධාරියෙකුගේ පවුලේ සමීපතමයෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදිත බවට ඔක්තෝම්බර් 08 වැනි දින පාර්ලිමේන්තුවේ දී අනාවරණය විය.

මේ පිළිබඳව අනාවරණය වූයේ, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජේලාල් විසින් තමන් අත්‍යවශ්‍ය කටයුත්තක් සඳහා පාර්ලිමේන්තු කටයුතු අංශයට ගිය අවස්ථාවේදී ඊට ඇතුල්වීමට ඉඩ නොදුන් බවත්, වත්මන් කොරෝනා තත්ත්වය නිසා එවැනි තීරණයක් ගනු ලැබුවේද යන්න පාර්ලිමේන්තුවේදී විමසා සිටි අවස්ථාවේ දී යි.

එහිදී, කථානායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තුව වෙත දැනුම් දුන්නේ, පාර්ලිමේන්තු සේවා අංශයේ සේවය කරනු ලබන නිලධාරියෙකුගේ පවුලේ ඥාතියෙක්ට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම නිසා ඒ අයුරින් පිටස්තර පුද්ගලයින්ට ඇතුල්වීමට ඉඩ ලබා නොදීමට තීරණය කළ බවයි.

Rivira Ads