Covid-19

ප්‍රදේශ රැසකින් කොරෝනා ආසාදිතයින්

(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 09 පස්වරු 12.42ට)

දිවයිනේ ප්‍රදේශ කිහිපයකින්ම මේ වන විට කොවිඩ්-19 ආසාදිතයින් හමු වී තිබෙනවා. ඉන් ඇතැම් ආසාදිතයින්ට වෛරසය ආසාදනය වූ ආකාරය මෙතෙක් අනාවරණය වී නොමැති අතර ආසාදිතයින් අතර මාස 10 බිළිඳියක ද සිටිනවා.

ළමා රෝහලේ බිළිඳියකට කොරෝනා වැළඳෙයි

කොළඹ, රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බිළිඳියකට කොවිඩ්-19 වෛරසය ආසාදිත වී ඇති බවට තහවුරු වී තිබෙනවා. මාස 10ක් පමණ වන බිළිඳිය සම්බන්ධයෙන් රෝහල් කාර්යමණ්ඩලයට ඇති වූ සැකයක් මත මුල් අවස්ථාවේ සිටම වෙනත් රෝගීන්ගේ වෙන් කර තැබූ බව රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කළා.

මිනුවන්ගොඩ ප්‍රදේශයේ ලිපියනයක් යටතේ බිළිඳිය රෝහල්ගත කිරීමෙන් එම සැකය මතු වී තිබෙන අතර ඒ මත සිදුකරන ලද පීසීආර් පරීක්ෂණයේ දී එම සැකය තහවුරු වී තිබෙනවා.

හලාවත තරුණයෙකුට කොරෝනා

හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි තරුණයෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදිත බව හඳුනාගෙන තිබෙනවා. 30 හැවිරිදි තරුණයා වෙනත් අසනීපයකට ප්‍රතිකාර ගැනීමට රෝහලට පැමිණි අවස්ථාවේ ඇති වූ සැකයක් මත සිදුකරන ලද පීසීආර් පරීක්ෂණයක දී වෛරසය ආසාදිත බව තහවුරු වී තිබෙනවා.

අදාළ තරුණයා හලාවත අඹකදවිල ප්‍රදේශයේ ආගමික මධ්‍යස්ථානයක සේවය කළ අයෙකු බව හඳුනා ගැනීමෙන් පසුව හලාවත සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරින් එම මධ්‍යස්ථානයේ සියලු සාමාජිකයින් වෙත පීසීආර් පරීක්ෂණ සිදුකර තිබෙනවා.

හලාවත උසස් පෙළ සිසුවෙකුටත් කොරෝනා

හලාවත, ආරච්චිකට්ටුව ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි පාසැල් සිසුවෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව හලාවත පොලිසිය පවසනවා. හලාවත නගරයේ උපකාරක පන්ති සඳහා ද සහභාගී වී ඇති බව පවසන අදාළ සිසුවාගේ පවුලේ අය සහ අසල්වැසි නිවාස කිහිපයක පිරිස් නිරෝධායනයට ලක් කිරීමට පියවරගෙන ඇති බව පොලිසිය පවසනවා.

කෙසේ වෙතත්, අදාළ සිසුවාට වෛරසය ආසාදනය වී ඇත්තේ කෙසේ ද යන්න මෙතෙක් අනාවරණය වී නැති බව ද පොලීසිය සඳහන් කළා.

හොරණින් ආසාදිතයින් 4ක්

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරන හොරණ කඳන්හේන පදිංචි පුද්ගලයෙකුට, ඔහුගේ දෙහැවිරිදි දරුවට වයසැති දරුවාට, මවට හා බිරිඳගේ යෙහෙලියකට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇතැයි කළුතර දිස්ත්‍රික් ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් ගීගනගේ සඳහන් කළා.

බිරිඳගේ යෙහෙළිය හොරණ මූලික රෝහලේ හෙදියක බව ද අනාවරණය වී තිබෙනවා. මේ හේතුවෙන්, හොරණ මූලික රෝහලේ වාට්ටු අංක 05 හුදෙකලා කිරීමට පියවරගෙන තිබෙනවා.

මන්නාරම රදගුරු නිල නිවසෙනුත් ආසාදිතයෙක්

මන්නාරම රදගුරු නිල නිවාසයේ සිටි පෙදරේරුවෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. කටුනේරිය ප්‍රදේශයේ පදිංචි අදාළ පුද්ගලයා උණ රෝගී තත්වයක් හේතුවෙන් මන්නාරම රෝහලට ඇතුළත්ව ඇති අතර එහිදී සිදුකළ පීසීආර් පරීක්ෂණයක දී වෛරසය ආසාදිත බව තහවුරු වී තිබෙනවනා.

ඒ අනුව රදගුරු නිල නිවසේ පූජකවරුන් ඇතුළු සියලු දෙනා නිරෝධායනයට ලක් කිරීමට පියවරගෙන ඇති අතර එම ස්ථානයෙන් කිසිවෙකුටත් පිටවීම හා ඇතුල්වීමට ඉඩ නොදෙන බව මන්නාරම පොලීසිය පවසයි.

Rivira FB Group Rivira Youtube
To Top