දේශීය පුවත්

බදුර්දීන් ‘නිදහස් කිරීමේ කළු පැල්ලම’ ජාලිය සේනාරත්න පිටින් යයි?

(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 11 පස්වරු 01.00ට)

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ ජාලිය සේනරත්න උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පුද්ගලික සහකාර ලෙස පත් කර තිබෙනවා.

2020.10.09 දිනැති ජාතික පොලිස් කොමිසමේ නියමය පරිදි අදාළ මාරු කිරීම සිදුකර ඇති බව පොලිස්පතිවරයා විසින් දන්වා ඇති අතර එහි දැක්වෙන්නේ විනය හේතු මත පොලිස් මහජන සබඳතා කොට්ඨාසයේ අධ්‍යක්ෂධූරය හා පොලිස් මාධ්‍ය ප්‍රකාශකධූරය දැරූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්නව කන්කසන්තුරේ පොලිස් කොට්ඨාසයට මාරු කර උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පත්වරයාගේ පුද්ගලික සහකාර ලෙස පත් කර ඇති බවයි.

කෙසේ වෙතත්, මීට ආසන්නම හේතුව වන්නේ පාස්කු ඉරිදා සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රියාජ් බදුර්දීන් සම්බන්ධයෙන් මාධ්‍ය වෙත සිදුකරන ලද ප්‍රකාශ කිහිපයක් බව අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වේ.

එහිදී, හිටපු අමාත්‍ය, සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන්ගේ සහෝදරයා වන රියාජ් බදුර්දීන් අත්අඩංගුවට ගැනීමේ දී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළ කරුණු සහ අදාළ පුද්ගලයාව කිසිඳු නෛතික ක්‍රියාවලියකට ලක් කිරීමෙන් තොරව නිදහස් කර හැරීමෙන් පසු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස ජාලිය සේනාරත්න ප්‍රකාශ කළ කරුණු අතර පැවති පරස්පරතාවය හේතුවෙන් ඔහු සම්බන්ධයෙන් දැඩි සමාජ කතිකාවක් ද නිර්මාණය විය.

එහෙත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සිදුකරන්නේ හුදෙක්ම පොලීසියේ අදාළ අංශ මගින් ලබාදෙන තොරතුරු මාධ්‍ය වෙත ඉදිරිපත් කිරීම පමණයි. ඒ අනුව, ඕනෑම අවස්ථාවක පොලීසිය වෙනුවෙන් සහ පොලීසිය ආරක්ෂා කරමින් අදහස් දැක්වීම පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ ප්‍රධාන වගකීම යි.

කෙසේ වෙතත්, රියාජ් බදුර්දීන් අත්අඩංගුවට ගැනීමේ හෝ නිදහස් කිරීමේ ක්‍රියාවලියට අදාළව කිසිඳු රාජකාරියක්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි, නීතිඥ ජාලිය සේනාරත්න විසින් සිදු නොකළ බව පොලිස් ආරංචි මාර්ග පෙන්වා දෙයි. එවැනි තත්වයක් තුළ ඔහු විසින් හුදෙක්ම සිදුකර ඇත්තේ අදාළ අංශවලින් ඔහු වෙත ලබාදෙන තොරතුරු මාධ්‍ය වෙත ප්‍රකාශ කිරීම පමණක් බව ද පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වා දෙයි.

කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් සිදුකර ඇති බවත්, එහිදී හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වදරකරු වී ඇති බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වා දෙයි.

එසේම, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස ජාලිය සේනාරත්න, රියාජ් බදුර්දීන් සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශ, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂගේ ද දැඩි දෝෂ දර්ශනයට ලක් වූ අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන බව ද මීට පෙර අවස්ථාවක පාර්ලිමේන්තුවේ දී සඳහන් කර තිබුණි.

මේ සම්බන්ධයෙන්, සමාජ ජාල ඔස්සේ අදහස් දක්වමින් බොහෝ දෙනා පවසා තිබුණේ “රියාජ් බදුර්දීන් නිදහස් කිරීමෙන් ඇති වූ කළු පැල්ලම” ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි, නීතිඥ ජාලිය සේනාරත්න පිටින් ගොස් ඇති බවයි.

  1. පොලිස් මාධ්‍ය ප්‍රකාශකධූරයෙන් ජාලිය ඉවතට, අජිත් රෝහණ ධූරයට
  2. “රියාජ් බදුර්දීන් වහාම අත්අඩංගුවට ගන්න”, නිදහස් කිරීම ගැන ආණ්ඩු පක්ෂ මන්ත්‍රීන් 100ක් පරීක්ෂණයක් ඉල්ලයි
  3. රිෂාඩ් හමුවීම ගැන චමල්ගෙන් ඡන්දදායකයින්ට පැහැදිලි කිරීමක්
  4. 20 වන සංශෝධනයට බදුර්දීන් සහය දෙයි ද?
  5. නඩු නැතිවම රියාජ් බදුර්දීන් නිදහස්
  6. නීතිඥ ජාලිය සේනාරත්න, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තනතුරට උසස් කෙරේ
Rivira FB Group Rivira Youtube
To Top